මධ්‍යධරණී කලාපයේ ඉස්පාර්ටා, බර්දූර් සහ ඇන්ටාලියා යන පළාත්වල සිදු කළ සංචාරය

මධ්‍යධරණී කලාපයේ ඉස්පාර්ටා, බර්දූර් සහ ඇන්ටාලියා යන පළාත්වල සිදු කළ සංචාරය

ශ්‍රී ලංකා දූත මණ්ඩලයට සිය සබඳතා පිහිටුවිය හැකි ප්‍රදේශ/අංශ ගවේෂණය කිරීමට සහ වෙළඳ, ආයෝජන සහ සංචාරක සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා තුර්කියේ මධ්‍යධරණී ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර දී තානාපතිවරයා ඉස්පාර්ටා, බර්දූර් සහ ඇන්ටාලියා යන පළාත්වල ආණ්ඩුකාරවරුන්, ඇන්ටාලියා හි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාජිකයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා හමුවිය.

ඉස්පාර්ටා පළාතේ ආණ්ඩුකාරයා වන ඔමර් සෙයිමෙනෝග්ලු මැතිතුමා, බර්දූර් පළාතේ ආණ්ඩුකාරයා වන අලි අර්ස්ලන්ටාස් මැතිතුමා සහ ඇන්ටාලියා පළාතේ ආණ්ඩුකාරයා වන එර්සින් යසිසි මැතිතුමා යනාදීහු සිය පළාත් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමට මෙන්ම පුද්ගලාන්තර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උනන්දු වන බව ප්‍රකාශ කළහ. සංචාරක සහ වෙළෙඳ සහයෝගිතාව මෙන්ම විශේෂයෙන් කෘෂිකර්මාන්තය සහ පතල් කර්මාන්තය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන සබඳතා වැඩි දියුණු කර ගැනීමට ද ඔවුහු දැඩි උනන්දුවක් දැක්වූහ. තවද පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංචාරක ව්‍යාපෘති පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීමට ද ඔවුන් තුළ ඇති උනන්දුව පළ කළහ.

ඇන්ටාලියා හි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය තුළ සිදු කළ සංචාරය ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී වෙළඳ  මණ්ඩල සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සහ ඔවුන් අතර අථත්‍ය රැස්වීම් සැසියක් සංවිධානය කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වූ අතර ඒ සඳහා ඇන්ටාලියා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඩවූට් සෙටින් මහතා සහ සාමාජිකයන් සිය එකඟත්වය පළ කළහ. ඇන්ටාලියා යනු සංචාරක ව්‍යාපාරය මෙන්ම විශේෂයෙන් පාරිසරික සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය, ධීවර හා ජලජ සම්පත් කර්මාන්තය මත බෙහෙවින් රඳා පවතින පළාතකි. ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව සහ විදේශීය ආයෝජකයන්ට ලබා දිය හැකි දීමනා පිළිබඳව දැනුම්වත් කළ තානාපතිවරයා ආයෝජන සම්බන්ධයෙන් ස්ථිර යෝජනාවක් පැමිණියහොත් දූත මණ්ඩලයේ සහය ලබා දෙන බවට සහතික විය.

තානාපතිවරයා ඇන්ටාලියා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඩවූට් සෙටින්  මහතා සමඟ භෞතික යටිතල පහසුකම් සහ සම්පත්වලින් සමන්විත වූ අනාගත වර්ධනය, පරිශීලකයන්, ව්‍යවසායකයන් සහ විවිධ යෙදවුම්වලින් ප්‍රතිලාභ ලබන නවෝත්පාදක ව්‍යාපාරයක් වන INOVATSO සමාගම තුළ සංචාරයක නිරත විය.

තානාපතිවරයා ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය ඔස්ලෙනන් ඔස්කන් මහත්මිය ද හමු විය. ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලය ඇන්ටාලියා පළාතේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලය වන අතර එහි සිසුන් 69,030 ක් සහ අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 4,303 දෙනෙකු සිටියි. ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලය පීඨ 24 ක්, ආයතන 7 ක්, එක් පාසලක්, එක් සංරක්ෂණාගාරයක්, වෘත්තීය පාසල් 12 ක් සහ පර්යේෂණ සහ යෙදවුම් මධ්‍යස්ථාන 57 ක් ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යයි. ශිෂ්‍ය කටයුතු, අධ්‍යයන හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති ආදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලය අතර පවත්නා සහයෝගීතාව පිළිබඳව තානාපතිවරයා සහ ඇක්ඩෙනිස් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා අතර සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 නොවැම්බර් මස 15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close