ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘෂි අපනයන ප්‍රජාව වෙත සිය සහය අඛණ්ඩව ලබා දෙයි

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘෂි අපනයන ප්‍රජාව වෙත සිය සහය අඛණ්ඩව ලබා දෙයි

ශ්‍රී ලංකා කෘෂි අපනයන ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානය (IPD) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව “කෘෂි නිෂ්පාදන අංශය සඳහා වන යුරෝපා සංගමයේ ප්‍රමිතීන් සහ සහතික කිරීම්” යන මාතෘකාව යටතේ කාබනික කෘෂි නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡා මාලාවේ 4 වැනි වැඩසටහන 2021 නොවැම්බර් 2 වැනි දින සාර්ථකව පවත්වන ලදි.

වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කළ තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ කෘෂි ආහාර නිෂ්පාදන අංශයේ සිය අපනයන ශක්‍යතා ඉහළ නැංවීම සඳහා මුළු මහත් ජාතියම ප්‍රයත්න දරන මෙවන් මොහොතක කෘෂි ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපනයන ඉහළ නැංවීමට ශ්‍රී ලාංකික කෘෂි අපනයන ප්‍රජාව බල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කළාය. ජර්මනිය සහ සුවිසල් යුරෝපා සංගමය වෙත ප්‍රවේශ වී සිය වෙළඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා ඇති මංපෙත් ගවේෂණය කරන ආකාරය ඉගෙනීම සඳහා පසුගිය මාස පහ තුළ අපනයනකරුවන් දැක්වූ අඛණ්ඩ උද්‍යෝගය එතුමියගේ පැසසුමට ලක් විය.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන දේශනය සිදු කළ ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අගය දාම විශේෂඥ සහ බාහිර උපදේශිකා බ්‍රිජිට් බූර් මහත්මිය කෘෂි නිෂ්පාදන අංශය සඳහා වන යුරෝපීය ප්‍රමිතීන් සහ සහතික කිරීමේ ක්‍රමවල මූලික කරුණු පිළිබඳව සහභාගී වූ පිරිස දැනුම්වත් කළ අතර නිරන්තරයෙන් වෙනස් වන නිර්මාණ විධි මෙන්ම ජාත්‍යන්තර අපනයන ප්‍රජාවේ නවතම සහ හොඳම භාවිතයන් සහ ප්‍රවණතා පිළිබඳ ගුණාත්මක මෙන්ම සංඛ්‍යානමය විශ්ලේෂණයක් සිදු කළාය. නිෂ්පාදනවල අන්තර්ගත අපවිත්‍ර මූලද්‍රව්‍යවල දූෂණය වීමේ මට්ටම පළිබෝධනාශක සඳහා වන උපරිම අවශේෂ මට්ටම සහ රසකාරක වැනි නිෂ්පාදනවලට අගය එකතු කිරීම සඳහා වන රසායනික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීම් සිදු කළ බූර් මහත්මිය කෘෂි නිෂ්පාදන සඳහා වන තාක්ෂණික ප්‍රමිතීන් පිළිබඳ සිය ප්‍රවීණත්වය පුළුල් ලෙස බෙදා ගත්තාය. කෘෂි නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය තුළ පවතින “වේගවත් අනතුරු ඇඟවීම් පද්ධතිය” සහ එහි ක්‍රියාකාරීත්වය මෙන්ම එමගින් යුරෝපා සංගම් වෙළෙඳපොළ පුරා ඉහළම මට්ටමේ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් නොවෙනස්ව පවත්වාගෙන යාම පිළිබඳව ද එතුමිය අවධාරණය කළාය. 100 කට අධික සහභාගිවන්නන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැයක් පුරා පැවති මෙම ඉදිරිපත් කිරීම සහ අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසිය මගින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට යුරෝපා සංගම් වෙළෙඳපොළ තුළ සිය ශක්‍යතා උපරිම වශයෙන් යෙදවීම සඳහා අවශ්‍ය දායකත්වය සපයන ලදි.

කොළඹ පිහිටි ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර වෙළඳ උපදේශිකා ලින්ඩා මෙන්ස් මහත්මිය විශේෂඥ පිරිසකින් සමන්විත මෙම සංසදය මෙහෙය වූ අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මහත්මිය සිය අවසාන දේශනයේ දී මෙම වෙබිනාර් වැඩසටහනට සහභාගී වූ සියලුම පාර්ශ්වකරුවන් වෙත සිය කෘතඥතාව පළ කළාය. තානාපති කාර්යාල වෙබිනාර් මාලාවේ මීළඟ වෙබිනාර් සාකච්ඡාව "තිරසාර සැපයුම් දාම සහ ඊට අවශ්‍ය උද්‍යෝගය"  යන මාතෘකාව යටතේ 2021 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බර්ලින්

2021 නොවැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close