අන්තල්යා හි “ශ්‍රී ලාංකීය රසය” (Taste of Sri Lanka) වැඩසටහන

අන්තල්යා හි “ශ්‍රී ලාංකීය රසය” (Taste of Sri Lanka) වැඩසටහන

තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 නොවැම්බර් 5 වන දින අන්තල්යා හි ප්‍රසිද්ධ වෙරළ උද්‍යානයේ පිහිටි " My Asia Restaurant" හි දී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා “ශ්‍රී ලාංකීය රසය” (Taste of Sri Lanka) නමින් ශ්‍රී ලංකා ආහාර ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදි. තුර්කි - ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රත්ව කණ්ඩායමේ සාමාජික අබ්දූර්රහ්මන් බෂ්කාන් මහතා (අන්තල්යා පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී) විසින් උත්සවය ආරම්භ කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා තානාපති එම්. රිස්වි හසන්, ජාතිකවාදී ව්‍යාපාර පක්ෂයේ (MHP) පළාත් ප්‍රධානී හිල්මි ඩුර්ගුන්, සහ අන්තල්යා හි ශ්‍රී ලංකාවේ කොන්සල් අලි කැම්බරොග්ලු යන මහත්වරුන් ද එක්විය.

My Asia Restaurant හි හවුල්කරුවෙකු මෙන් ම විධායක සූපවේදියෙකු වන සහන් මොරටුවගේ මහතා සහ ප්‍රමුඛ තුර්කි සූපවේදියෙකු වන මුස්තාෆා එරෝල් මහතා විසින් “ලම්ප්‍රයිස්, ආප්ප, කොත්තු රොටී සහ වටලප්පන්” යන ශ්‍රී ලාංකේය ජනප්‍රිය ආහාරපාන සාදන ආකාරය පිළිබඳව කරන ලද ඉදිරිපත් කිරීම අමුත්තන්ගේ සිත් ගත්තේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන මන්ත්‍රී අබ්දූර්රහ්මන් බෂ්කාන් මහතා මිත්‍රශීලී රටක විශේෂිත සංස්කෘතියක් පිළිබඳ වටහා ගැනීම ආරම්භ වන්නේ එහි ආහාරපාන අත්විඳීමෙන් ම බව පැවසීය. තුර්කි ජාතිකයන්ට ඒවායේ රස බැලීමට අඩු අවස්ථාවක් ලැබෙන බැවින් තුර්කියේ ශ්‍රී ලාංකීය ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීමට තානාපති කාර්යාලය දරන උත්සාහය ප්‍රශංසනීය ක්‍රියාවක් බවද ඔහු පැවසීය. සැබෑ සිලෝන් තේ රස විඳීම පිළිබඳ සිය අත්දැකීම් විස්තර කරමින් බාස්කන් මහතා, “ශ්‍රී ලංකාව යැයි කියූ විගස අප සැමදෙනාගේ ම මතකයට නැගෙන්නේ අප කුඩා කල පටන් දන්නා සිලෝන් තේ” බව ප්‍රකාශ කළේය.

ප්‍රදර්ශනය සඳහා තබා තිබූ ශ්‍රී ලාංකේය සිද්ධාලේප ආයුර්වේද සහ ස්පා නිෂ්පාදනවල සුවිශේෂත්වය අත්විඳීමට මෙම අවස්ථාවට සහභාගි වූ අමුත්තන්ට අවස්ථාව හිමි විය. මෙහිදී ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සෙත්සිරි විජේසිංහ මහතා විසින් ශ්‍රී ලාංකේය පාරම්පරික ආයුර්වේද ප්‍රතිකර්මවල ප්‍රතිලාභ සහ දේශීය ඖෂධ පැළෑටිවලින් සාදන ලද පාරම්පරික ඖෂධවල ඵලදායීතාවය පිළිබඳ ව ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි. මෙම අවස්ථාවට සපැමිණි මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් සහ හෝටල් හිමියන් විශාල පිරිසකට පිරිසුදු සිලෝන් තේ පානය සමඟ ශ්‍රී ලාංකීය ආහාර රසවිඳීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 නොවැම්බර් 10 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close