විදේශ අමාත්‍යවරයා ජපාන තානාපතිවරයාට සමු දෙයි

විදේශ අමාත්‍යවරයා ජපාන තානාපතිවරයාට සමු දෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී  සිය ධූර කාලය අවසන් කළ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමාට සමු දුන්නේ ය.

අනර්ඝ ඓතිහාසික උරුමයන් මත පදනම්ව දෙරට අතර ගොඩනැගී ඇති ශක්තිමත් සහ බහුවිධ සබඳතා පිළිබඳව සිහිපත් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා දක්වන ලද නොසැලෙන සහය සහ සහයෝගිතාවය සම්බන්ධයෙන් ධූර කාලය අවසන් කොට නික්ම යන තානාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකාව මුහුණ පෑ අසීරු අවස්ථාවන්හි දී ජපානය ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයකු ලෙස ක්‍රියා කළ බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තානාපති සුගියාමා ගත් මහත් උත්සාහය අගය කළේ ය. විශේෂයෙන්ම ජපන් සංවර්ධන ආධාර යටතේ කෘෂිකර්මය, වාරිමාර්ග, පානීය ජලය, මාර්ග සංවර්ධනය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ ජීවනෝපාය නංවාලීමට ජපානය ලබා දුන් දායකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදා අමතක නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. තවද, ජපානය විසින් පිරිනමන ලද ආධාර සෑම විටම රටේ සැබෑ අවශ්‍යතා මත පදනම්ව පිරිනැමූ බවත්, කිසි විටෙකත් පූර්ව කොන්දේසි සමඟ ඈඳා නොගත් බවත් එතුමා සඳහන් කළේ ය.

මානව හිමිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ජපාන රජය දරන ස්ථාවරය සහ පවතින ගැටලුවලට නිර්මාණාත්මක සහ සාමකාමී විසඳුම් සෙවීමේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඵලදායී මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජපාන රජයට සිය ස්තුතිය පළ කළේ ය. තවද, තානාපති සුගියාමා මැතිතුමා ශ්‍රී ලංකාව තුළ සිය ධූර කාලයේ දී මේ සම්බන්ධයෙන් ඉටු කළ ක්‍රියාකාරී හවුල්කාරීත්වය ද විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

සිය නිල වරම මඟින් තමන් උපරිම තෘප්තියට පත්වන පරිදි කටයුතු සැලසීම සඳහා, ශ්‍රී ලංකාවේ‍ සියලුම පාර්ශ්වකරුවන්ට කොන්දේසි විරහිත මෙන්ම සීමා රහිත ප්‍රවේශයක් ලබා දීම පිළිබඳව තානාපති සුගියාමා මැතිතුමා ශ්‍රී ලංකා රජයට සහ විදේශ අමාත්‍යවරයාට සිය  ස්තුතිය පුද කළේ ය. ලබන වසරේ දී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමරන විට, ඵලදායී ශ්‍රී ලංකා-ජපාන හවුල්කාරිත්වය තවත් ඉහළට ඔසවා තැබීමට සුදුසු අවස්ථාවක් උදාවනු ඇති බවට තානාපතිවරයා සිය විශ්වාසය පළ කළේ ය.

ජපානයේ විදේශ අමාත්‍යංශය තුළ ජ්‍යෙෂ්ඨ තනතුරක් භාර ගැනීමට නියමිත තානාපති සුගියාමා මැතිතුමා වෙත අමාත්‍ය පීරිස් මැතිතුමා සිය සුබපැතුම් එක් කළේ ය.

තානාපති සුගියාමා මැතිතුමා නොවැම්බර් 18 වැනි දින සිට වසර තුනක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ලෙස සේවය කර ඇත.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් මස 10වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close