තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ  ජනාධිපති මයිලෝ ඩුකනෝවික් මැතිතුමා වෙත සෙටින්ජේ හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර එතුමිය මොන්ටිනිග්‍රෝවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලදි.

මොන්ටිනිග්‍රෝවේ සන්නද්ධ හමුදාවල ආචාර පෙළපාලියක්, අක්තපත්‍ර පිළිගැන්වීම සහ ජනාධිපති මයිලෝ ඩුකනෝවික් සහ ඔහුගේ දූත පිරිස සමඟ සාකච්ඡාවක් පැවැත්වීම යනාදිය මෙම උත්සවයට ඇතුළත් විය. දූත මණ්ඩලයේ පළමු වැනි ලේකම් බුද්ධිකා විමලසේන මහත්මිය ද තානාපතිනිය සමඟ මෙම අවස්ථාවට සහභාගි වූවාය.

මෙම සාකච්ඡාවේ දී තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමූ අතර පෙර පැවති සමාජවාදී ෆෙඩරල් යුගෝස්ලාවියානු ජනරජ සමයේ දී විශේෂයෙන්ම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාර සන්දර්භය තුළ දෙරට අතර පැවති සුවිශේෂී සබඳතාව සිහිපත් කළාය. ජනාධිපති ඩුකනෝවික් මැතිතුමා ද සිය ශ්‍රී ලංකා මිත්‍ර පාර්ශ්වය වෙත සුබපැතුම් පළ කළ අතර දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ පවත්නා දැඩි උනන්දුව පළ කළේ ය.

ශ්‍රී ලංකාව තුළ ඇති ව්‍යාපාර හිතකාමී පරිසරය පිළිබඳව අවධානය යොමු කළ තානාපතිනිය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉහළ යමින් පවතින උනන්දුව කෙරෙහි අවධාරණය කළ අතර නව අවස්ථා සහ ශක්‍යතා සහිත සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව ද විස්තර කළාය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොන්ටිනිග්‍රෝ ජනරජයට සමගාමීව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලින්

2021 නොවැම්බර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close