4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සමාගම් 25 ක් සිය නිපැයුම් ප්‍රදර්ශනය කරයි

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සමාගම් 25 ක් සිය නිපැයුම් ප්‍රදර්ශනය කරයි


මේ වන විට ෂැංහයි හි පැවැත්වෙන 4 වැනි ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් 25ක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරයි. මෙම ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළ අවස්ථාවේ දී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතථ්‍ය අයුරින් දේශනයක් පැවැත්වීය. මෙම ප්‍රදර්ශනයට ආහාර පාන අංශය නියෝජනය කරමින් සමාගම් 19ක් සහභාගී වන අතර එක් සමාගමක් පාරිභෝගික නිපැයුම් අංශය තුළ සිය නිපැයුම් ප්‍රදර්ශනය කරන අතර මැණික් හා ස්වර්ණාභරණ අංශයේ නිෂ්පාදන  සමාගම් පහක්  මඟින් ප්‍රදර්ශනය කරනු ලබයි. ලක්සල ආයතනය ප්‍රථම වරට මෙම ප්‍රදර්ශනයේ දී සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා විසින් ආහාර පාන අංශය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. සමාරම්භක උත්සවය ඇමතූ තානාපතිවරයා දැවැන්ත මෙන්ම ලාභදායී චීන පාරිභෝගික වෙළඳපොළ තුළ සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමාගම්වලට CIIE ප්‍රදර්ශනය මඟින් සුවිශේෂී අවස්ථාවක් හිමි වන බව ප්‍රකාශ කළේය. මෙමඟින් දෙරට අතර පවතින වෙළෙඳ පරතරය අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට පැහැදිලි අවස්ථාවක් උදා වූ බවත් පෞද්ගලික අංශයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. වර්තමානය වන විට වෙළඳ ශේෂය දැවැන්ත ආන්තිකයක් ඔස්සේ චීනයට පක්ෂව පවතී. සැලකිය යුතු දුෂ්කරතා විශේෂයෙන්ම වසංගතය ආශ්‍රිත සීමාවන් මඟහරවා ගනිමින් මෙම ප්‍රදර්ශනය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ සමාගම්වලට එතුමා සිය ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නායකත්වය යටතේ 2022 දී පැවැත්වීමට නියමිත මීළඟ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ඔහු තවත් ශ්‍රී ලාංකික සමාගම් දිරිමත් කළේය.

ලංකා තේ, කුළුබඩු, පොල් සහ කොහු නිෂ්පාදන, වියළන ලද කාබනික පලතුරු, කාබනික පලතුරු නිෂ්පාදන, කාබනික මී පැණි, පුද්ගලික සත්කාර සහ සුවතා නිෂ්පාදන, කිතුල් නිෂ්පාදන, තල, තක්කාලි සෝස්, මිරිස් සෝස්, මාළු සෝස්, මිරිස් සහ සුදුළූණු සෝස්, පැණි රසැති මිරිස් සෝස් , මෙයොනීස්, බෙල්ලන්ගෙන් සැකසූ සෝස්, BBQ සෝස්, බිස්කට් සහ වෙනත් රසකැවිලි ආදිය ආහාර පාන අංශය තුළ විදහා දක්වන ලදි. ඊට අමතරව ලයන් බෲවරි සමාගමේ බීම වර්ග ද විදහා දැක්විණි. මැණික් හා ස්වර්ණාභරණ අංශය නියෝජනය කරමින් ලක්සල ඇතුළුව සමාගම් පහක් මෙම ප්‍රදර්ශනයට සහභාගී විය.

චීන වෙළඳපොළේ වටිනාකම හඳුනාගෙන ඇති බොහෝ රටවල් ආකර්ෂණීය විදහා දැක්වීම් නිර්මාණය කිරීම සඳහා සැලකිය යුතු මුදලක් සහ ශක්තියක් වැය කොට ඇත. එම ප්‍රදර්ශන කුටි සඳහා ජනකාය නිරායාසයෙන් ප්‍රවේශ වූහ. ලංකා තේ, මැණික් හා ස්වර්ණාභරණ, පොල් නිෂ්පාදන යනාදිය අනාගතයේ දී පැවැත්වෙන CIIE ප්‍රදර්ශනවලදී ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව සැලකිය යුතු මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට , ෂැංහයි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට තානාපති කොහොන මැතිතුමා සිය ස්තුතිය පුද කළේ ය. CSLATE, ලක්සල, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ පෞද්ගලික සමාගම් විසින් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉහළ නැංවීමට ලබා දුන් දායකත්වය ද එතුමා අගය කළේය. මෙම ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාව වෙත සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙස එතුමා සියලුම අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 නොවැම්බර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close