ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා බ්‍රසීලය සහ දකුණු ඇමරිකාව තුළ සුවිසල් අවස්ථා පවතී:  ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ප්‍රකාශ කරයි

ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා බ්‍රසීලය සහ දකුණු ඇමරිකාව තුළ සුවිසල් අවස්ථා පවතී:  ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ප්‍රකාශ කරයි

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ලංකා වාණිජ මණ්ඩලය සහ බ්‍රසීලයේ සාඕ පවුලෝ වාණිජ මණ්ඩලය සමඟ එක්ව බ්‍රසීලය තුළ ඇති වෙළඳ ශක්‍යතා සහ අවස්ථා පිළිබඳව ශ්‍රී ලාංකික අපනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින් ‘බ්‍රසීලය සමඟ ව්‍යාපාර කටයුතු සිදු කිරීම’ නමින් වෙබිනාර් සාකච්ඡාවක් 2021 නොවැම්බර් 4 වැනි දින සංවිධානය කළේය.

මෙම මුලපිරීම, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලංකා වාණිජ මණ්ඩලය සහ සාඕ පවුලෝ වාණිජ මණ්ඩලය අතර 2021 සැප්තැම්බර් 14 වැනි දින අවසන් කරන ලද අවබෝධතා ගිවිසුමේ සාර්ථක ප්‍රතිඵලයකි.

පිළිගැනීමේ දේශනය සිදු කළ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා දෙරට අතර වෙළෙඳ පරිමාණ ඉහළ නැංවීමේ වැදගත්කම සහ බ්‍රසීලයෙන් ශ්‍රී ලංකාව වෙත ඉහළ සංචාරකයන් පිරිසක් සහ සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

ප්‍රධාන දේශනය පැවැත්වූ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා බ්‍රසීලියානු සහ දකුණු ඇමරිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවට ඇති අවස්ථා අති විශාල බැවින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සිය බ්‍රසීලියානු සහ දකුණු ඇමරිකානු මිත්‍ර පාර්ශ්ව සමඟ ව්‍යාපාරික කටයුතුවලට එළඹීමේ වැදගත්කම අවධාරණය කළේය. දකුණු ආසියාතික සහ ඈත පෙරදිග රටවල් කිහිපයකින් බ්‍රසීලයට ලබා දෙන අපනයන පරිමාණය ඇ.ඩො. මිලියන 100 ඉක්මවන බවත් 2020 වර්ෂයේ දී බ්‍රසීලය වෙත ශ්‍රී ලංකාව සැපයූ අපනයන ඇ.ඩො. මිලියන 42ක් ලෙස වාර්තා වී ඇති බවත් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. දකුණු ඇමරිකානු කලාපය තුළ ශ්‍රී ලාංකික අපනයන වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් සතුව අවශ්‍ය දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම තිබියදීත් ශ්‍රී ලාංකිකයන් මෙම කලාපය තුළ පවත්නා පුළුල් අවස්ථා ප්‍රයෝජනයට නොගැනීම පුදුමයට කරුණක් බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තානාපති සුමිත් දසනායක මැතිතුමා බ්‍රසීල සහ දකුණු ඇමරිකානු සමාගම් සමඟ ඒකාබද්ධ ව්‍යාපාර, ව්‍යාපාරික සහයෝගිතා සහ හවුල්කාරිත්වයන් ආරම්භ කිරීමට ඇති අවස්ථා ගවේෂණය කරන ලෙස ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා තානාපති කාර්යාලය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රකාශ කළේය.

සාඕ පවුලෝ වාණිජ මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ විශේෂ උපදේශක මොරිෂියෝ මෑන්ෆ්‍රේ මහතා සිය ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකාව සඳහා බ්‍රසීලයේ පවතින වෙළඳපොළ අවස්ථා, වෙළඳපල බාධක සහ වෙනත් බාධා; අභියෝග, අවශ්‍ය ප්‍රමිතීන්, සහතික කිරීම්, අදාළ බලධාරීන් පිළිබඳ තොරතුරු, සාර්ථක ව්‍යාපාරික කටයුතු සඳහා වන උපායමාර්ග, ව්‍යාපාරික සංස්කෘතිය,වෙළඳපොළ හරහා විනිවිද යාම සඳහා වඩාත් සුදුසු ක්‍රම පිළිබඳ යෝජනා සහ නිර්දේශ යනාදිය ඇතුළුව බ්‍රසීල වෙළඳපොළේ ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කළේය.විශේෂ උපදේශක මෑන්ෆ්‍රේ මහතා සතුව ජාත්‍යන්තර ව්‍යාපාර සහ නීතිය පිළිබඳ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති අතර එතුමා දැනට බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති බ්‍රසීලියානු අපනයන ප්‍රවර්ධන නියෝජිතායතනයේ (APEX) විදෙස් නියෝජිත නිලධාරියෙකු ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 75ක් මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා එක් වූ අතර, ප්‍රශ්නෝත්තර සැසියේ දී සහභාගිවන්නන් විසින් මතු කරන ලද විශේෂිත විමසුම්වලට පිළිතුරු සපයන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2021 නොවැම්බර් 08 දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close