ඉරාන ඉස්ලාමීය ජනරජය තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය  සහ ගමනාන්ත ප්‍රවර්ධනය කෙරේ

ඉරාන ඉස්ලාමීය ජනරජය තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය  සහ ගමනාන්ත ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (එස්එල්ටීපීබී) සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ සහය ඇතිව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඔක්තෝම්බර් 26 වන දින ටෙහෙරානයේ චාන්සරි පරිශ්‍රයේ දී “ශ්‍රී ලංකා ගමනාන්ත” (Destination Sri Lanka) නමින් සංචාරක ප්‍රවර්ධන උත්සවයක් සංවිධානය කරන ලදී. සංචාරක වෙළඳාම, ගුවන් සේවා, මාධ්‍ය සහ ඉරානයේ අදාළ අනෙකුත් අංශවල නියෝජිතයින් 60කට ආසන්න ප්‍රමාණයක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.  වසංගත සීමා කිරීම් සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම පිළිබඳ අදහස් ඉල්ලීම් හේතුවෙන් දීර්ඝ විවේකයකින් අනතුරුව ඉරාන සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් ප්‍රවර්ධනය කිරීම මෙම උත්සවයේ අරමුණ විය.

සමාරම්භක අවස්ථාවේ දී අදහස් දක්වමින් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජා විශ්වනාත් අපෝන්සු මැතිතුමා සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර මෙරට සුවිශේෂී ලක්ෂණ, එහි අනර්ඝ විවිධත්වය, ප්‍රසිද්ධ ආකර්ෂණීය ස්ථාන සහ මිත්‍රශීලී මිනිසුන් සඳහා ප්‍රකට නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔවුන් දක්වන කැපවීම සහ උනන්දුව අගය කළේය. ශ්‍රී ලංකාවේ සුහදශීලී ආගන්තුක සත්කාරය අත්විඳීම සඳහා තානාපතිවරයා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනාට ම ආරාධනා කළ අතර, තානාපති කාර්යාල සංචාරක සැලැස්මට අනුකූලව වසරකට අවම වශයෙන් ඉරාන සංචාරකයින්ගෙන් 1% ක් හෝ ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට දිරිමත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියේය.

එස්එල්ටීපීබී හි වැඩබලන කළමණාකාර අධ්‍යක්ෂිකා මධුභානි පෙරේරා මහත්මිය විසින් අතථ්‍ය මාර්ගයෙන් සිය දේශනය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ක්‍රමෝපාය, ඉදිරි ගමන සහ ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ අමුත්තන් විසින් අනුගමනය කළ යුතු වත්මන් සෞඛ්‍ය උපදෙස් මාලාව පිළිබඳව පැහැදිලි කරන ලදී. ඉරානයේ සිට ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා ඊටීඒ වීසා ඇතුළු වර්තමාන සංචාරක ක්‍රියා පටිපාටි මෙන්ම මේ වන විට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය විස්තර කළාය. එස්එල්ටීපීබී හි අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) දුෂාන් වික්‍රමසූරිය විසින්, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, ස්වභාවික පරිසරය, ආයුර්වේද සම්ප්‍රදායන් සහ විවිධ සංස්කෘතික උරුමයන්, වර්ණවත් උත්සව, සාම්ප්‍රදායික ආහාර සහ තවත් බොහෝ දෑ අගයමින් ශ්‍රී ලංකාව සිය හොඳම සංචාරක නවාතැන බවට පත් කරගෙන සිටින විචක්ෂණශීලී ඉරාන අමුත්තන් සඳහා වෙළඳපල ගතිකත්වය සහ සංචාරක නිෂ්පාදන පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

දේශන අතරතුර, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අමල් ගුණතිලක, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික බන්දුල විතාන සහ ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංගමයේ සාමාජික මර්වින් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් විසින් රටේ සංචාරක මෙහෙයුම් පිළිබඳ සිය මෑතකාලීන අත්දැකීම් ඉදිරිපත් කරන ලදී. Covid-19 සෞඛ්‍ය උපදෙස් මාලාව අනුගමනය කරමින් උපරිම ආරක්ෂාව සහිතව ඉරාන සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පිළිගනිමින් ඔවුන් වෙත විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සූදානම මොවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය වෙනුවෙන් ගලිවර් ට්‍රැවල් ඒජන්සි හි කළමනාකාර අධ්‍යක්ෂ ෆරිබෝයිස් සායිඩී මහතා සිය කෙටි අදහස් දැක්වීමේ දී මෙම සතුටුදායක අවස්ථාව සඳහා තමාට මෙන් ම උත්සවයේ නියෝජිතයින්ට කළ ආරාධනය පිළිබඳව ශ්‍රී ලංකා තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කළේය. ඉරාන සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වෙත එවීමට තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සහතික කළේ ය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අලුතින් නිර්මාණය කරන ලද ඉන්ස්ටග්‍රෑම් ගිණුම එළි දැක්වීම ද මෙහිදී ප්‍රධාන අංගයක් විය. මීට අමතර ව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද එහි දී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වූවන් හට තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සිලෝන් තේ ප්‍රවර්ධන වැඩසටහනකින් සමන්විත විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි.  එහි දී සියලුම අමුත්තන් සඳහා ශ්‍රී ලාංකීය තේ සහ සමරු තිලිණයක් සහිත වටිනා ත්‍යාගයක් ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2021 ඔක්තෝබර් 31 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close