ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඊසානදිග හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඊසානදිග හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ඊසානදිග හෙසන් හි සිදු කෙරෙන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ සැලසුම් කරන ලද ක්‍රියාකාරකම්වලට අනුව යමින්, ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 ඔක්තෝබර් 07 වැනි දින සංචාරක ප්‍රවර්ධන උත්සවයක්  සංවිධානය කළේ ය. ආගන්තුක සත්කාර කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ කළමනාකාර අධ්‍යක්ෂවරුන්, අවන්හල්කරුවන්, ජනමාධ්‍යකරුවන් සහ ශ්‍රී ලංකාවේ ජර්මානු මිතුරන් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වූ අනෙක් පිරිසට ඇතුළත් විය. මෙම උත්සවය විධිමත් ප්‍රසංග, නාට්‍ය රඟ දැක්වීම් සහ විශේෂයෙන්ම ජාතික අත්පන්දු ලීගය ඇතුළු ක්‍රීඩා වැඩසටහන් පැවැත්වෙන ඓතිහාසික වෙට්ස්ලර් නගරයෙ හිදී පැවැත්විණි.

පැමිණ සිටි පිරිස ඇමතූ ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මධුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය, ශ්‍රී ලංකාව තුළ පවතින දර්ශනීය  භූ පිහිටීම, විස්මයජනක වනජීවී ගහණය, විචිත්‍රවත් උත්සව, ආයුර්වේද සම්ප්‍රදායන්, විවිධ සංස්කෘතික උරුමයන් සහ උද්‍යෝගිමත් ජනතාව හේතුවෙන් ශ්‍රී ලංකාව යනු විචක්ෂණශීලී ජර්මානු සංචාරකයන් ‘සංචාරයේ නිරත විය යුතුම’ ගමනාන්තයක් බව අවධාරණය කළා ය. පුළුල් පරාසයකට දිව යන අව්‍යාජ මෙන්ම විවිධාකාර වූ සංචාරක අත්දැකීම් විදහා දක්වමින් කොන්සල් ජනරාල්වරිය සිය ඉදිරිපත් කිරීම ජර්මානු භාෂාවෙන් සිදු කළා ය.

පැමිණ සිටි පිරිස මෙම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මංගල උත්සව සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයුර්වේද සංචාරක ව්‍යාපාරය කෙරෙහි මහත් උද්‍යෝගයක් සහ විශේෂ උනන්දුවක් දැක්වූහ. අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ෆ්‍රෑන්ක්ෆර්ට් සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කෙරෙන සෘජු ගුවන් ගමන්වල ප්‍රයෝජන ලබා ගන්නා ලෙස කොන්සල් ජනරාල්වරිය ජර්මානු පිරිසට ඇරයුම් කළා ය.

උත්සවය අතරතුර දී, ශ්‍රී ලංකාව නිරූපණය කෙරෙන ශ්‍රව්‍ය- දෘශ්‍ය දර්ශන සහ ශබ්ද පටි තිරගත කෙරුණු අතර, තවදුරටත් පිරිස දැනුවත් කිරීම සඳහා සංචාරක අත් පත්‍රිකා බෙදා හරින ලදී.

උත්සවය අවසන් වූයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ ගුණාත්මක බවින් යුත් ‘සත් කලාපීය තේ’ යොදා සැකසූ තේ පැන් සංග්‍රහයකිනි.

උත්සවය සඳහා ආරාධනා කිරීම සහ උත්සවයේ සම සංවිධායකත්වය දැරීම පිළිබඳව බර්ක් කන්සල්ට් හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියස් බර්ක් මහතා වෙත උත්සවය අවසානයේ දී කොන්සල් ජනරාල්වරිය සිය ස්තුතිය පළ කළාය.

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන්

2021 ඔක්තෝබර් 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close