තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අන්හුයි පළාතේ බෙන්ග්බු හි පැවති තයිහු ලෝක සංස්කෘතික සංසදයේ ඩිජිටල් සංස්කෘතික හා මූල්‍ය කර්මාන්ත තේමාත්මක සංසදයේ දී චීන සහ ශ්‍රී ලංකා සමාගම් අතර උසස් තාක්ෂණ සහයෝගිතාවය  වැඩි දියුණු කරන මෙන් ඉල්ලා සිටියි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අන්හුයි පළාතේ බෙන්ග්බු හි පැවති තයිහු ලෝක සංස්කෘතික සංසදයේ ඩිජිටල් සංස්කෘතික හා මූල්‍ය කර්මාන්ත තේමාත්මක සංසදයේ දී චීන සහ ශ්‍රී ලංකා සමාගම් අතර උසස් තාක්ෂණ සහයෝගිතාවය  වැඩි දියුණු කරන මෙන් ඉල්ලා සිටියි

තයිහු ලෝක සංස්කෘතික සංසදයේ 6 වැනි වාර්ෂික සමුළුව 2021 ඔක්තෝබර් 12 වැනි දින නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ බෙංග්බු හි පිහිටි බෙන්ග්බු පුරාණ වාසස්ථාන එක්ස්පෝ උද්‍යානයේ දී ආරම්භ විය. මෙවර වාර්ෂික සමුළුවේ තේමාව වූයේ “ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අවබෝධය: මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත සමාජයක් එක්ව ගොඩනැගීම” යන්නයි. මෙහිදී තේමාත්මක සංසද හයක් සහ විශේෂ සංවාද හතරක් පැවැත්විණි. මෙම සමුළුවට සහභාගී වූ අමුත්තන් මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත සමාජයක් ගොඩ නඟන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර කොවිඩ්-19 වසංගතයේ බලපෑම සහ තාක්ෂණික සංවර්ධනයේ බලපෑම මානව වර්ගයාගේ අනාගතය කෙරෙහි බලපාන ආකාරය, දේශගුණික විපර්යාස මගින් එල්ල වූ අභියෝග සහ සංස්කෘතික නවෝත්පාදනය හා සංවර්ධනය සඳහා ඉවහල් වන හඳුනා ගත් නව අවස්ථා සහ නව ප්‍රවනතා පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළහ. කාම්බෝජය, අසර්බයිජානය, තුර්කිය, තායිලන්තය, මෝල්ඩෝවා, ශ්‍රී ලංකාව, රුසියාව, උස්බෙකිස්තානය, පාකිස්තානය, ලෙබනනය, රුසියාව, යුක්රේනය ආදි රටවල් 16 ක චීන දූත මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව රටවල් හා කලාප 30කට අධික සංඛ්‍යාවක අමුත්තන් 500 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙම සංසදය සඳහා මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් සහභාගී වූහ.

මෙම සංසදයේ ඩිජිටල් සංස්කෘතික හා මූල්‍ය කර්මාන්ත අංගය ඇමතූ තානාපති ආචාර්ය කොහොන මැතිතුමා කෘතිම බුද්ධිය (AI) සහ අතථ්‍ය තාත්විකත්වය (VR) වැඩි වශයෙන් භාවිතා කරමින් ආකර්ෂණීය ඩිජිටල්කරණ මාවත ඔස්සේ චීනය ඉදිරියටම ගමන් කොට ඇති බැවින් චීන හා ශ්‍රී ලංකා සමාගම් අතර වැඩි සහයෝගීතාවයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසී ය. චීනයේ විදේශ තානාපතිවරුන්, ඩිජිටල් තාක්ෂණ විශේෂඥයින්, වටිනා සංස්කෘතිකමය වස්තූන් පිළිබඳ ප්‍රවීණයන් සහ බ්ලොක් චේන් විශේෂඥයින් මෙම සංසදයට සහභාගී වූ අමුත්තන් පිරිසට ඇතුළත් විය. ඓතිහාසික ස්ථාන සහ වටිනා කලා කෘතීන් සංරක්ෂණය කිරීම සඳහා චීනය විසින් කෘතිම බුද්ධිය (AI) සහ අතථ්‍ය තාත්විකත්වය (VR) වඩාත් සක්‍රීය ලෙස භාවිතයට ගැනීම පිළිබඳව කථිකයෝ විස්තර කළහ.

සාම්ප්‍රදායික සංස්කෘතිය උසස් තාක්ෂණය සමඟ සංයෝජනය කර ගනිමින් ඩන්හුවාං ඇකඩමිය පූර්ණ ඩිජිටල් තාක්ෂණ උපකරණ කට්ටලයක් නිර්මාණය කොට ඇත. එමෙන්ම ඩිජිටල්කරණය කළ ඓතිහාසික කෘති වාණිජකරණය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරිණි. මානව ප්‍රගතියේ මෙම නව සන්ධිස්ථානය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ආචාර්ය කොහොන මැතිතුමා චීන පාර්ශ්වය උනන්දු කළේය.

තයිහු ලෝක සංස්කෘතික සංසදයේ සමුළුව මඟින් සංස්කෘතික විවිධත්වය, තීරය සහ මාර්ගය, දේශගුණික විපර්යාස ආදී මාතෘකා 7 ක් පිළිබඳ පොදු එකඟතා ලේඛනයක් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 ඔක්තෝබර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close