මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නංවාලීමට සැරසෙයි

මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නංවාලීමට සැරසෙයි

කොළඹ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි මැතිතුමා 2021 ඔක්තෝබර් 14 වැනිදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.  ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින්, පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා තවදුරටත් ක්‍රියාකල යුතු මාර්ග පිළිබඳ ව විදේශ අමාත්‍යවරයා සහ මහකොමසාරිස්වරයා සාකච්ඡා කළහ.

1957 දී මැලේසියාව ලැබූ නිදහස පිළිගත් ප්‍රථමයන් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වීමත්, 2017 දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් පිළිබඳ 60 වැනි සංවත්සරය සැමරීමත් සඳහන් කරමින්, දෙරට අතර ගුවන් සම්බන්ධතාවය එහි පූර්ණ ධාරිතාවයට ප්‍රතිස්ථාපනය කිරීම සහ දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සැලසීම ඇතුළුව, අංශ කිහිපයක හවුල්කාරිත්වයන් නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සිය බලවත් අපේක්ෂාව පළ කළේය.

දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව අවධාරණය කරමින්, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා දෙරටටම ප්‍රතිලාභ ගෙනදෙන ක්ෂේත්‍රවල තවදුරටත් සහයෝගිතාව ගොඩනැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඩිජිටල්කරණ ක්‍ෂේත්‍රය තුළ මැලේසියාව වාර්තා කළ දැවැන්ත ප්‍රගතිය අමාත්‍ය පීරිස් මැතිතුමාගේ මහත් පැසසුමට ලක් විය. පරිපාලනය, අධිකරණ කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදිය ඇතුළු ව රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට රජය අදහස් කරන ක්ෂේත්‍රයක් ලෙස එතුමා ඩිජිටල්කරණය හැඳින්වීය. මෙම ක්ෂේත්‍රය තුළ මැලේසියාවේ අත්දැකීම් නිරීක්ෂණය කොට රටේ අවශ්‍යතා අනුව යම් යම් අංගයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ අපේක්ෂාව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේ දී අමාත්‍ය පීරිස් මැතිතුමා, මැලේසියානු විශ්වවිද්‍යාල කීර්තිමත් විදේශීය විශ්වවිද්‍යාලවල සහයෝගයෙන් යුතුව උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශීය රටවලට සංක්‍රමණය නොවී විවිධ පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සළසා දෙන මැලේසියාවේ අධ්‍යාපන ක්‍රමය ද ඇගයීය. උසස් අධ්‍යාපනය හා කාර්මික අධ්‍යාපනය සඳහා පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව පුළුල් කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරමින්, මෙය දෙරටටම ඉදිරියට යා හැකි සහයෝගිතා ක්ෂේත්‍රයක් ලෙස අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හැඳින්වීය.

විදේශ අමාත්‍යාංශයේ සහ කොළඹ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close