අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා-කෙන්යා ද්විපාර්ශ්වික සබඳතාවලට නව උද්‍යෝගීමත් බවක් එක් කරයි

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා-කෙන්යා ද්විපාර්ශ්වික සබඳතාවලට නව උද්‍යෝගීමත් බවක් එක් කරයි

කෙන්යාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ක්‍රීඩා හා යෞවන කටයුතු,  සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ  අමාත්‍ය  සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා 2021 ඔක්තෝබර් 7 වැනි දින නයිරෝබි හි ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ දී ඉහළ රාජ්‍යතාන්ත්‍රික ආචාරශීලීත්වයකින් යුතුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමා ද අමාත්‍ය නාමල් මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන් දෙපළ ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබුවේ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා සහ කෙන්යාවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් කණ්ඩායමක් විසිනි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සිය නිල වැඩසටහනේ පළමු දිනයේ දී, එනම් 2021 ඔක්තෝබර් 8 වැනි දින කෙන්යානු සංචාරක හා වනජීවී අමාත්‍ය නජීබ් බලාලා මැතිතුමා සමඟ එක්ව නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී සේවා නියෝජිත කාර්යාලය විවෘත කළේය. ආරාධිතයන් ඇමතූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, රටක ආර්ථික වර්ධන ශක්‍යතාව විවෘත කිරීම සඳහා සෘජු ගුවන් සම්බන්ධතාවය ඉතා වැදගත් වන අතර එමඟින් වෙළඳාම, ආයෝජනය, සංචාරක කර්මාන්තය සහ අන්තර් පුද්ගල සබඳතා ආකර්ෂණය කර ගත හැකි බව පැවසීය. තවද දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා දරන උත්සාහයට නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී

සේවා නියෝජිත කාර්යාලය සහ ගුවන් සබඳතාවය මඟින් පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

අමාත්‍ය බලාලා මැතිතුමා සිය දේශනයේ දී සංචාරක හා වනජීවී කළමනාකරණයේ ධාරිතා වර්ධනය සහ අනෙකුත් හුවමාරු වැඩසටහන් විධිමත් කිරීම සඳහා කෙන්යාව සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික විධිවිධානයකට එළඹිය යුතු බව යෝජනා කළේය. මැති ඇමතිවරුන් හා ආරාධිතයන් පිළිගත් මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ කෙන්යාව යන දෙරටේම මූලික කර්මාන්තයක් වන බවත් ස්වභාවය, සංස්කෘතිය සහ ලක්ෂණ අනුව එකිනෙකට වෙනස් වූව ද  සුවිශේෂී භූගෝලීය පිහිටීමක් දෙරටටම හිමිව ඇති බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව අප්‍රිකාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගනිමින් මහාද්වීප දෙකක් තුළ සිට වුවද එක්ව වර්ධනය වෙමින් අනාගතය සමෘද්ධිමත් කර ගැනීම සඳහා උත්සාහ දරන හෙයින් මෙම ගුවන් සබඳතාවය කෙන්යාව සහ අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමෙහිලා හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වීම අතිශයෝක්තියක් නොවන බව ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සමාරම්භක වැඩසටහනේ දී කෙන්යාවේ සහ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් සහ මහකොමසාරිස්වරයා විසින් “අසිරිමත් කෙන්යාව යළි සොයා යාම” සහ “මන බඳින ශ්‍රී ලංකාව යළි සොයා යාම” යන දේශීය සංචාරක වෙළඳ සන්නාම එළි දක්වන ලදි. සොබාදහම විසින් දෙරටට නොමසුරුව තිළිණ කරන ලද අද්විතීයත්වයේ අත්දැකීම්වලින් එකිනෙක රටවලට සේවය කිරීමට ද්විපාර්ශ්වික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දේශීය වෙළෙඳ සන්නාම භාවිතා කෙරෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. උත්සවය අතරතුර දී කෙන්යානු ඇතුන් දෙදෙනෙකුට “ටිකිරි” සහ “මල්” යන ශ්‍රී ලාංකික නම් ලබා දෙන ලදි. මගී සේවා නියෝජිත කාර්යාලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ රුවන් ප්‍රනාන්දු මහතාට   සුබ පැතුම් එක් කළ අමාත්‍යවරු සහ මහ කොමසාරිස්වරයා, කෙන්යාව තුළ  ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු දක්වන උනන්දුව සම්බන්ධයෙන් තුති පළ කළහ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා කෙන්යාවේ ක්‍රීඩා සහ උරුමයන් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය අමීනා මොහොමඩ් මැතිණිය ද ක්‍රීඩා සහ උරුමයන් හා සංස්කෘතික අමාත්‍යාංශයේ දී හමු විය. ඒ ඒ රටවල ක්‍රීඩා දියුණු කිරීමේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳව අමාත්‍යවරු දෙපළ අදහස් හුවමාරු කරගත් අතර අවශ්‍යතාව පරිදි දිගු දුර ධාවකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පුහුණු පහසුකම් සැලසීමට ද්විපාර්ශ්වික සන්ධානයකට එළඹීමට තීරණය කරන ලදි. තවද, අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා කෙන්යානු තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ජෝශප් වකාබා මුචේරු මැතිතුමා හමුවී සාකච්ඡා කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා දියුණු වෙමින් පවතින තාක්ෂණය සමඟ පියවරෙන් පියවර ඉදිරියට යාමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරු පුළුල් සාකච්ඡාවක නිරත වූහ. ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස රාජ්‍ය සේවාවන් සඳහා තනි ඩිජිටල් ද්වාර පද්ධතියක් නිර්මාණය කිරීම පිළිබඳව ද අමාත්‍යවරු සාකච්ඡා කළහ. මේ සම්බන්ධව, දැනුම හා ප්‍රවීණතාවය බෙදාහදා ගැනීම සඳහා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමේ අදහසින් යුතුව සිය සාකච්ඡාව අඛණ්ඩව කරගෙන යාමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ.

 උගන්ඩා ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් නුවගබා මහතා සහ උගන්ඩාවේ ම්පිගි හි ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය  කරමින් සිටින උගන්ඩාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රුවන් ජයරත්න මහතා  උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය පැතූහ. ලබන වසරේ අග භාගයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වීමට නියමිත 19 න් පහළ ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සමඟ ධාරිතා වර්ධනය සහ පුහුණු අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත්, අමාත්‍ය නාමල් මැතිතුමා උගන්ඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපදෙස් දුන්නේය.

නයිරෝබි හි ඕස්ට්‍රේලියානු හා පාකිස්ථාන මහ කොමසාරිස්වරු සහ ඉන්දියාවේ හා එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා හමුවී ශ්‍රී ලංකාව සහ ඔවුන්ගේ රටවල් අතර දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා සමඟ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මැතිතුමා කෙන්යාවේ නයිරෝබි හි පොදු ස්ථානයක ස්ථාපිත කර ඇති ප්‍රථම බුද්ධ ප්‍රතිමාව  නැරඹීමට ගිය අතර ඔවුහු නයිරෝබි හි ශ්‍රී ලාංකික ප්‍රජාව ඉදිරියේ කෙටි ආගමික වතාවක් සඳහා ද සහභාගී වූහ. මෙම බුද්ධ ප්‍රතිමාව 2021 අගෝස්තු මාසයේ දී ස්ථාපිත කරන ලද්දේ වත්මන් මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා විසිනි. අමාත්‍ය දෙපළ කෙටි පිළිගැනීමක් සඳහා මහ කොමසාරිස් කාර්යාලයට ද පැමිණියහ. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමා මෙම සියළුම රැස්වීම්වලට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන අංශ කෙන්යාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවලට සක්‍රීයව දායක විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 ඔක්තෝබර්  මස 11 වැනි දින

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close