මොස්කව් හිදී පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය යළි තහවුරු කෙරේ

මොස්කව් හිදී පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය යළි තහවුරු කෙරේ

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර 10 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය 2021 ඔක්තෝබර් 08 වැනි සිකුරාදා දින මොස්කව් හි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රුසියාවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තානාපති ඊගෝර් මොර්ගුලොව් මැතිතුමාගේ සමසභාපතිත්වයෙන් යුතුව මෙම උපදේශන පවත්වනු ලැබීය.

මෙම හමුවේදී, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ඇතුළුව ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවත්නා බහුආංශික සබඳතා පිළිබඳව දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කෙරිණි. මෙම සාකච්ඡාවල දී දෙපාර්ශ්වයම ආරක්ෂාව, අධ්‍යාපනය, සම්බන්ධතාවය සහ සංචාරක ව්‍යාපාරය මෙන්ම කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වන සහයෝගිතාව පිළිබඳව ද සඳහන් කළ හ. දෙරට අතර පවතින දීර්ඝ කාලීන ඓතිහාසික සබඳතා සහ ශක්තිමත් හවුල්කාරිත්වය සිහිපත් කළ දෙපාර්ශවය, බහුපාර්ශ්වික සංසද තුළ දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව දෙරටේ සහයෝගිතාව යළි තහවුරු කළ හ. මෙම සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. 2022 වසරේ දී, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා  වසර 65ක් සපිරෙන බැවින් එම සංවත්සරය සැමරීම සඳහා දෙපාර්ශ්වයම අපේක්ෂාව පළ කළහ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරී මැතිතුමා, ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ විදේශ අමාත්‍යංශවල නිලධාරීන් සහ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම උපදේශන සඳහා සහභාගී වූහ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ඔක්තෝබර් 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close