ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සංචාරක ව්‍යාපාරය යළි ශක්තිමත් වේ

 ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සංචාරක ව්‍යාපාරය යළි ශක්තිමත් වේ

කොළඹ සහ කත්මණ්ඩු සම්බන්ධ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන, මෑතකදී ආරම්භ කෙරුණු සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාපාරික කර්මාන්ත විසින් පිළිගනු ලැබූ අතර, එමඟින් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තිබූ දිගුකාලීන බාධාව ඉවත් කෙරිණි.

මෙම පසුබිම තුළ, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාල සංචාරක මණ්ඩලය (NTB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සංචාරක ව්‍යාපාරය
ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සංචාරක ප්‍රවර්ධන ආයතන සහ සංචාරක කර්මාන්ත පාර්ශවකරුවන් එකම වේදිකාවකට ගෙන ඒම සඳහා වෙබිනාර් සාකච්ඡාවක් නේපාල සංචාරක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් 2021 සැප්තැම්බර් 30 වැනි දින පැවැත්විණි. කර්මාන්ත නියෝජිතයෝ සෘජු ගුවන් ගමන පිළිගත් අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි අවස්ථා මෙන්ම වසංගතය මධ්‍යයේ සංචාරයේ නිරත වන සංචාරකයන් තුළ විශ්වාසය ඇති කිරීම සඳහා ගත යුතු පියවර ගැන ද සාකච්ඡා කළහ.

ආරම්භක දේශනය ඉදිරිපත් කළ නේපාල සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ධනන්යාජා රෙග්මි මහතා, කොවිඩ් වසංගතයෙන් පසු තත්ත්වය හමුවේ නේපාල සංචාරක ව්‍යාපාරය සහ නේපාලයේ වසර පුරා දැක ගත හැකි ආකර්ෂණීය ස්ථාන පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අලෙවි අධ්‍යක්‍ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථානවල විවිධත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, වසංගතය අතරතුර සුරක්‍ෂිත සංචාරක ව්‍යාපාරයක් වෙනුවෙන් පනවා ඇති පශ්චාද් කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳව ද පැහැදිලි කළේය.

බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන ආවරණය කෙරෙන ආගමික සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික උරුම සහ වික්‍රමාන්විත සංචාරක කටයුතු ශ්‍රී ලංකාව සහ නේපාලය යන දෙරටෙහිම එක හා සමාන ආකර්ෂණීය ස්ථාන සපයා දෙන, එහෙත් එකිනෙකට අනන්‍ය වූ කැපී පෙනෙන ලක්ෂණ සහිත අංශ ලෙස හඳුනාගනු ලැබිණි. ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ උරුම ස්ථානවලින් පහක්ම බුදු දහම හා සම්බන්ධ වන අතර, සිද්ධාර්ථ කුමරු උපත ලැබූ ලුම්බිණිය නේපාලයේ පිහිටා ඇත. දෙරටෙහි සංස්කෘතීන්වල ඇති සමානකම ද, එම රටවල් තම පුරවැසියන් සඳහා වඩාත් සිත් ගන්නාසුලු නිවාඩු ගමනාන්ත බවට පත් කිරීමට ඉවහල් වී ඇත.

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සංචාරක කර්මාන්තය නියෝජනය කරමින් සහභාගිවන්නන් 50 කට අධික සංඛ්‍යාවක් මෙම අන්තර් ක්‍රියාකාරී වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක
ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL), ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය (ASMET) සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ කර්මාන්ත කේන්ද්‍ර කොටගත් දෘෂ්ටි කෝණයකින් සිය අදහස් හුවමාරු කර ගත්හ. නේපාලය නියෝජනය කරමින්, නේපාල සංචාරක හා සංචාරක නියෝජිතයන්ගේ සංගමය (NATTA) සහ නේපාලයේ ට්‍රෙකින් ඒජන්සි සංගමය තම අදහස් හුවමාරු කර ගත්හ. සංචාරක පැකේජ, සෞඛ්‍ය හා ආරක්‍ෂක මාර්ගෝපදේශ හා ඒකාබද්ධ ගමනාන්ත ප්‍රවර්ධනය සඳහා පවතින හැකියා සම්බන්ධ ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද කර්මාන්ත සංගම් තම අදහස් හුවමාරු කර ගත්හ.

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මැතිනිය සහ කොළඹ සිටින නේපාල කාර්ය භාර නිලධාරී බිෂ්වාෂ් භට්ටා මහතා ද වෙබිනාර් සාකච්ඡාව අමතමින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කත්මණ්ඩු

2021 ඔක්තෝබර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close