ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යවරු දේශීය සංස්කෘතිය තුළ මුල්බැසගත් සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරති

ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යවරු දේශීය සංස්කෘතිය තුළ මුල්බැසගත් සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මැතිනිය 2021 සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින නිව්යෝර්ක් හි දකුණු අප්‍රිකානු නිත්‍ය දූත මණ්ඩලයේ දී ද්විපාර්ශ්වික හමුවක් සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. විදේශ අමාත්‍යවරයා සමඟ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද ඊට සහභාගී විය.

විදේශ අමාත්‍යවරයා ලෙස පත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මැතිතුමාට සුබ පැතූ අමාත්‍ය පැන්ඩෝර් මැතිනිය, දෙරට අතර පවතින සමීප හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළාය. තම ආචාර්ය උපාධිය සඳහා කටයුතු කරන සමයේ දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලවලට ගොස් ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ දේශන මාලාවක් පැවැත්වූ අවධියේ දී සිට දකුණු අප්‍රිකාව සමඟ තමාගේ පැවති දිගුකාලීන සම්බන්ධතාවය අමාත්‍ය පීරිස් මැතිතුමා සිහිපත් කළේය. දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ හා ප්‍රමුඛ අමාත්‍ය ඩුල්ලා ඔමාර් මැතිතුමා සහ වර්ණ භේදවාදී රජයට එරෙහි නිදහස් අරගලයේ දී සහ දකුණු අප්‍රිකාවේ ඉහළ පෙළේ සංචාර කිහිපයක දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් වූ රෝල්ෆ් මේයර් සහ ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් යන මහත්වරුන් සමඟ ඔහුගේ පැවති සමීප මිත්‍රකම් සහ සබඳතා ද අමාත්‍යවරයා ආදරයෙන් සිහිපත් කළේය. දිවංගත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ අවමංගල්‍ය උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගී වූ බව ඔහු පැවසීය.

සංහිඳියාව සහ සත්‍යය යන අංශවල දකුණු අප්‍රිකාවේ සාරවත් අත්දැකීම් සහ අද්විතීය ඉතිහාසය දෙස සමීපව බැලූ ශ්‍රී ලංකාව, බොහෝ කරුණු දකුණු අප්‍රිකාවේම ජාතික අත්දැකීම් සඳහා විශේෂිත වන බව අවබෝධ කර ගනිමින්, මෙම අත්දැකීම්වල සමහර කරුණු පිළිබඳව ලංකාව සැලකිල්ලෙන් යුතුව සලකා බලන ලද බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ගැටුම්වලින් අනතුරුව කෙරෙන සංවර්ධනය හා ජාතික සමගිය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඇතුළු මුලපිරීම් පිලිබඳව දකුණු අප්‍රිකානු අමාත්‍යවරියට විස්තර කළේය. පශ්චාත් ගැටුම් ගැටලු විසඳීමට අපේක්ෂා කරන රටවල් සමඟ ඔවුන්ගේ අත්දැකීම් සහ උගත් පාඩම් හුවමාරු කර ගැනීමට දකුණු අප්‍රිකාව සතුටු වන බවත් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා වන්දි ගෙවීම සම්බන්ධ ගැටළු පිළිබඳව ඔවුන් අඛණ්ඩව පාඩම් ඉගෙන ගනිමින් පවතින බවත් ඇමති පැන්ඩෝර් මැතිනිය අවධාරණය කළාය.

දෙපාර්ශ්වය අතර පවතින පොහොසත් ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍යවරියට ආරාධනා කළේය. දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වී සිය සමීප සබඳතා අලුත් කර ගන්නා ලෙස අමාත්‍ය පැන්ඩෝර් මැතිනිය ද අමාත්‍යවරයාට ආරාධනාවක් කළාය. දෙරට අතර පවතින ගැඹුරු හා සමීප මිත්‍ර සබඳතා සහ බහුපාර්ශ්වික අංශයේ සමීප සහයෝගීතාව අමාත්‍යවරුන් දෙදෙනා අගය කළහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

 2021 සැප්තැම්බර් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close