මොස්කව් රෝහල් ප්‍රධානීන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ දේශන පැවැත්වේ

මොස්කව් රෝහල් ප්‍රධානීන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ දේශන පැවැත්වේ

ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය සේවා අංශ අතර සහයෝගීතාවයේ රාමුව තුළ, 2021 අගෝස්තු 07 සහ 21 දිනවල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා මොස්කව් මෙට්‍රොපොලිටන් පරිපාලන යූරි ලුෂ්කොව් විශ්වවිද්‍යාලයේ පුහුණුවන්නන් සමඟ ශ්‍රී ලාංකික අත්දැකීම් හුවමාරු කර ගත්තේය.

මෙම මුලපිරීම, වාර්ෂිකව මොස්කව් රෝහල් ප්‍රධානීන් සඳහා විදේශීය අධ්‍යයන චාරිකාද ඇතුළත්ව සංවිධානය කරන පුහුණුව, මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මොස්කව් මෙට්රොපොලිටන් පරිපාලන විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිදුකොට ඇත.

මෙවර මෙම විශ්වවිද්‍යාලය සිය උසස් පෙළේ පුහුණුවන්නන් ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර ඇති අතර, තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කොට එම පුහුණුවන්නන් ශ්‍රී ලංකාවට යාමට පෙර මාර්ගගත දේශන පැවැත්වීමට සංවිධානය කළේය. වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ දේශනවල මාතෘකා වූයේ: ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතියේ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආයතනයි.

මොස්කව් රෝහල් ප්‍රධානීන් 20 දෙනෙක් පමණ මෙම මාර්ගගත දේශනවලට සහභාගී වූ අතර, ප්‍රශ්නෝත්තර සැසි සඳහා සක්‍රියව සහභාගී වෙමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය කෙරෙහි මෙන්ම ඉදිරියට එන ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරය කෙරෙහි සිය අවංක උනන්දුව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ මෙම ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික අනුග්‍රහය දැක්වීම පිළිබඳව පෞද්ගලිකව අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාට මෙන්ම, මොස්කව් මෙට්‍රොපොලිටන් පරිපාලන යූරි ලුෂ්කොව් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාව සහ එහි ආයතන සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා වූ උනන්දුව වෙනුවෙන්, පෞද්ගලිකව එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානී වාසිලි යූරිවිච් ෆයිවිස්කි මහතා වෙත තානාපති කාර්යාලය සිය කෘතඥතාව පළ කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 අගෝස්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close