නෝර්වේ තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරයි

නෝර්වේ තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරයි

නෝර්වේ රාජධානියේ තානාපති ට්‍රයි ජුරෙන්ලි එස්කෙඩල් මැතිනිය 2021 අගෝස්තු 30 සඳුදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

සාකච්ඡා අතරතුර දී, ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය ඇගයීමට ලක් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, සහජීවනය සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රටේ අවශ්‍යතාවය පිළිබඳව යළි අවධාරණය කළේය.

නෝර්වීජියානු තාක්‍ෂණ විශේෂඥතාවයෙන් සහ සහයෝගයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලබන නෝර්වීජියානු සංවර්ධන සහයෝගීතාව, පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජනය සහ ධීවර අංශයේ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින්, ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව තානාපති එස්කෙඩල් මැතිනිය විස්තර කළාය. පුනර්ජනනීය බලශක්තිය සඳහා නෝර්වේ සමඟ ආයෝජන හවුල්කාරිත්වයන් සඳහා පවතින හැකියාව පිළිබඳව එතුමිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා - නෝර්වේ හවුල්කාරිත්වයේ මුල් ගලක් ලෙස පවතින ධීවර අංශයේ ශක්තිමත් සහයෝගීතාවය පිළිබඳව තානාපතිවරිය අවධාරණය කළාය. මේ සම්බන්ධයෙන් සමුද්‍ර සම්පත් පර්යේෂණ හා සංවර්ධන සහයෝගීතාව සහ සාගර උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා සහාය වීම පිළිබඳව සඳහන් කරන ලදී.

2030 තිරසාර සංවර්ධනය සඳහා වූ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයකට මාරු කිරීම ඇතුළුව දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව යළි අවධාරණය කරමින්, හරිත බලශක්තිය සඳහා නෝර්වේ සමඟ වන තාක්‍ෂණික සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නා බව පීරිස්‌ මැතිතුමා පැවසීය.

ජලජ පර්යේෂණ සහ නීල ආර්ථිකය සඳහා නෝර්වීජියානු විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව සහ නම්දැරූ නෝර්වීජියානු විශ්‍රාම වැටුප් අරමුදල විසින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම ද අමාත්‍යවරයා පිළිගත්තේය. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT), සංචාරක කටයුතු, අධ්‍යාපන තාක්‍ෂණය සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව යොමු කරන ලදී.

ශ්‍රී ලංකාවේ කලාපීය හා බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරිය දැනුවත් කළේය. මෙම හමුව සඳහා විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ද සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close