ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ඩෙමෙට් සෙකර්සියෝග්ලු මැතිනිය අගෝස්තු 25 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවූවාය.

සාකච්ඡා අතරතුර දී, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ලෝකය උනන්දුවක් දක්වන තුර්කියේ පොහොසත් ශිෂ්ටාචාර මූලයන් මෙන්ම එරට සංස්කෘතීන්ගේ සමගිය හා සහජීවනය පිළිබඳව ඉස්මතු කළේය. දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. පවතින යහපත් සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින උනන්දුව යළි අවධාරණය කළේය.

පීරිස් මැතිතුමාගේ නව පත්වීම පිළිබඳව එතුමාට උණුසුම් සුබ පැතුම් පිරිනමමින්, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ශක්තිමත් දේශපාලන සබඳතාවන්ගෙන් සමන්විත සහයෝගීතාවයේ බහුවිධ ස්වභාවය අනෙකුත් ක්ෂේත්‍ර අතර වෙළඳාම සහ ආයෝජනය, විද්‍යාව හා තාක්‍ෂණය, අධ්‍යාපනය සහ සංස්කෘතිය යන අංශයන්හි පවතින සහයෝගීතාවය පිළිබඳව තානාපති සෙකර්සියොග්ලු මැතිනිය අවධාරණය කළාය. ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සහ ලංකා තේ අපනයනය සඳහා තුර්කි වෙළෙඳපොළේ පවතින වැදගත්කම පිළිබඳව පීරිස් අමාත්‍යවරයා සඳහන් කළේය.

බහුපාර්ශ්වික වේදිකා සඳහා තුර්කිය ලබා දෙන සහයෝගය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා සිය බලවත් ස්තූතිය පළ කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන තේමාත්මක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නා බව පැවසීය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාතීන් අතර එකමුතු බවේ සහ සහයෝගීතාවයේ අවශ්‍යතාවය මෙම සාකච්ඡා තුළින් අවධාරණය කෙරිණි. මෙම සන්දර්භය තුළ, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා මේ වසරේ පෙබරවාරි මාසයේ දී තුර්කිය විසින් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ පරිත්‍යාග කිරීම අගය කළේය.

මෙම හමුවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close