චීනය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරයි: ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුළු එන්නත් සංඛ්‍යාව මිලියන 3 කි

චීනය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරයි: ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුළු එන්නත් සංඛ්‍යාව මිලියන 3 කි

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරනු ඇත. මෙම එන්නත් ගුවන් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ චීනයේ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කරයි.

නව කොරෝනා වෛරස වසංගතය සමඟ සටන් කිරීම සඳහා සෞඛ්‍ය සේවා සමඟ සහයෝගයෙන් යුතුව අපගේ සන්නද්ධ හමුදාව අඛණ්ඩව කටයුතු කරන බැවින්, ශ්‍රී ලංකාවට මෙම පරිත්‍යාගය ලබා දීම චීන ජනාධිපතිවරයා සහ මධ්‍යම හමුදා කොමිසම විසින් ඉතා වැදගත් කොට සලකන බව චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

චීනය මීට පෙර සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. වර්තමාන මාත්‍රා 300,000 ක පරිත්‍යාගය සමඟ චීනය විසින් පරිත්‍යාග කරන ලද මුළු එන්නත් ප්‍රමාණය මිලියන 3 කි. මෙම වසංගතය ආරම්භ වූ දා සිට චීනය සහ ශ්‍රී ලංකාව එක්ව සිටිමින් එකිනෙක රටවලට උදව් කොට ඇති අතර, මෙම ත්‍යාගය දෙරට අතර මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කොවිඩ්-19 අභියෝගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර කිරීම පිළිබඳව චීන රජයට සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවට ආධාර අවශ්‍ය වූ සෑම අවස්ථාවක දීම චීනය ශ්‍රී ලාංකික ජනතාවට සහය දැක්වීමට මැලි නොවූ බව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 අගෝස්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close