චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප්‍රදර්ශනයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීනය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් අතර විශාල සහයෝගීතාවයක් ඉල්ලා සිටී

චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප්‍රදර්ශනයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීනය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් අතර විශාල සහයෝගීතාවයක් ඉල්ලා සිටී

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 අගෝස්තු 23-25 දිනවල චොංකිං හිදී පැවති ස්මාර්ට් චයිනා එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ඩිජිටල් ආර්ථික කර්මාන්තය පිළිබඳ චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව සඳහා සහභාගී විය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රටවල් අතර නවෝත්පාදන සහයෝගීතාව සඳහා වේදිකාවක් සැපයීම පිණිස SCO ලේකම් කාර්යාලය සමඟ එක්ව චොංකිං හි නාගරික රජය විසින් මෙම සංසදය සංවිධානය කරන ලදී.

සංසදයට යාබදව පිහිටි විශාල ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම උසස් තාක්‍ෂණික ප්‍රදර්ශනය පවත්වන ලද අතර, ඩිජිටල් ආර්ථිකය, විශාල දත්ත සහ සුහුරු තාක්‍ෂණවල වර්‍ධනයන් සම්බන්ධව අනාගත නවීන තාක්‍ෂණයන් සහ ක්ෂේත්‍රවල ප්‍රවණතා ඇතුළත් විය. ඩිජිටල් ආර්ථිකය, ඊ-වාණිජ්‍යය, සැපයුම් සහ සුහුරු සංචාරක කටයුතු යන තේමාවන් යටතේ උප සංසද පැවැත්විණි.

තානාපති ආචාර්ය කොහොන මැතිතුමා සුහුරු සැපයුම් සේවා ප්‍රවර්‍ධනය කිරීම සහ සැපයුම් සේවා කොරිඩෝව ඩිජිටල්කරණය කිරීම පිළිබඳ උප සංසදයේ දී සිය අදහස් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාව තාක්‍ෂණය පදනම් කරගත් සමාජයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප්‍රධාන ජාතික ප්‍රතිපත්තිමය අරමුණක් බව ප්‍රකාශ කළේය. තවද, කලාපය ඩිජිටල් ක්‍රමයට සම්බන්ධ කිරීම සහ ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ බෙදා හැරීම සඳහා හොඳින් ස්ථානගත වී ඇති ශ්‍රී ලංකාව, සිය රට සමුද්‍රීය සේද මාවතේ සහ තීරය හා මාර්ගය මූලාරම්භයේ දක්ෂිණ කේන්ද්‍රස්ථානය ලෙස සලකන බව එතුමා සඳහන් කළේය.

චොංකිං හි නාගරික මහජන රජයේ උප නගරාධිපති ෂෙන් ෂියැංඩොං මැතිතුමා සංසදය පිළිගනිමින්, චොංකිං “සුහුරු නගරයක්” තැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර, “සුහුරු ජීවිතයේ” නව යුගයක් විවෘත කිරීම වේගවත් කර ඇති බව පැවසීය. වාණිජ, රජයේ සහ සිවිල් අරමුණු සඳහා විශාල දත්තවල වටිනාකම ගවේෂණය කිර තුළින්, උසස් තත්ත්වයේ ජීවිතයක් සඳහා ජනතාවගේ අවශ්‍යතා අඛණ්ඩව සපුරාලීම සඳහා, සුහුරු ප්‍රවාහන, සුහුරු වෛද්‍ය ප්‍රතිකාර, සුහුරු අධ්‍යාපනය සහ සුහුරු සංචාරක ව්‍යාපාර වැනි රාජ්‍ය සේවා පහසුකම් සංවර්ධනය වේගවත් කිරීමට චොංකිං උත්සාහ දරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.

SCO රටවල ප්‍රදර්ශන භූමියේ ශ්‍රී ලංකාවේ මණ්ඩපය ද තිබුණි. වසංගතය හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික සමාගම්වලට ප්‍රදර්ශනය සඳහා භෞතිකව සහභාගී වීමට නොහැකි විය. කෙසේ වෙතත්, සමහර ශ්‍රී ලාංකික නිෂ්පාදන ශ්‍රී ලංකා මණ්ඩපයේ දී ප්‍රදර්ශනය කොට තිබූ අතර, ඒ කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු විය.

ආචාර්ය කොහොන මැතිතුමා ශ්‍රී ලංකාවේ පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා සහ අතිවිශාල සංචාරක හැකියාවන් පිළිබඳව චොංකිං රූපවාහිනිය සහ චොංකිං ජාත්‍යන්තර මාධ්‍ය විසින් කරන ලද  සම්මුඛ සාකච්ඡාවක දී අවධාරණය කළේය.

තානාපති කොහොන මැතිතුමා හමු වූ චොංකිං ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, එහි ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ සහය ඉල්ලා සිටියහ. මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට චීනය සැලසුම් කරයි. චොංකිං හි ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා හැකි සෑම ආකාරයකින්ම සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ආචාර්ය කොහොන මැතිතුමා චොංකිං ක්‍රිකට් සංගමයට සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 අගෝස්තු 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close