ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මැතිතුමා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මැතිතුමා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට් මැතිතුමා අගෝස්තු 24 අඟහරුවාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙම හමුවේ දී, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දේශපාලන, ආර්ථික සබඳතාවල සිට දිගුකාලීන සංස්කෘතික සම්බන්ධතා සහ අන්තර් පුද්ගල සබඳතා දක්වා විහිදුණු ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම සහ බහුවිධ ස්වභාවය පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වශයෙන් පවතින ශක්තිමත් හා ඵලදායී සහයෝගීතාව තානාපති සියුබර්ට් මැතිතුමා අවධාරණය කළේය. පුළුල් පරාසයක පැතිරී ගිය අංශ ආවරණය කරමින්, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර මෑතක දී අවසන් වූ දේශපාලන උපදේශනවල සාර්‍ථකත්වය පිළබඳව ද එතුමා සඳහන් කළේය.

සුප්‍රසිද්ධ ජර්මානු සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රබල ලෙස පෙනී සිටීම පිළිබඳව සඳහන් කරමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ප්‍රශස්ත කරන ලෙස විදේශ අමාත්‍යවරයා ජර්මනියට ආරාධනා කළේය.

ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් මානයක් ලෙස සංවර්ධන සහයෝගීතාව හඳුනා ගනිමින්, කටුබැද්දේ සහ කිලිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික පුහුණු ආයතන සහ මාතර පිහිටුවන නව පුහුණු ආයතනය හරහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වටිනා වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිය අවංක ස්තූතිය පළ කළේය. ජර්මානු ආධාරයෙන් ඉදි කරන ලද ගාල්ල මහමෝදර මාතෘ රෝහල (හෙල්මුට් කෝල් රෝහල) පිළිබඳව තානාපති සියුබර්ට් මැතිතුමා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close