විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෞදි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෞදි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කරයි

සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඇඩෙල් බින් අහමඩ් අල්-ජුබීර් මැතිතුමා සමඟ පැවති අතථ්‍ය සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෞදි අරාබිය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා අගය කළ අතර, එම සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව අවධාරණය කළේය.

1974 වසරේ සිට දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ගනු ලැබූ පියවර පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, සංවර්ධන සහයේ සහ ඒකාබද්ධ සහයෝගීතාවයේ විවිධ ක්ෂේත්‍ර වෙත සබඳතා ගැඹුරු කිරීම හා පුළුල් කිරීම සඳහා සෞදි රාජකීයයන් විසින් ලබා දුන් දායකත්වය සිහිපත් කළේය. අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ සහ තමාගේ සුබ පැතුම් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජතුමා සහ මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් ඔටුන්න හිමි කුමරු වෙත පිරිනැමීය.

සෞදි අරාබිය විසින් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට සත්කාරකත්වය ලබා දීම ශ්‍රී ලංකාව අගය කරන බව පැවසූ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම දෙරටේම ආර්ථික දියුණුව සඳහා හේතු වූ බව අවධාරණය කළේය. නිපුණ සහ වෘත්තීයමය කාණ්ඩයන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩිපුර අවස්ථා ලබා දෙන ලෙස එතුමා සෞදි අරාබිය දිරිමත් කළේය. කොවිඩ්-19 වසංගතයේ මුල් අවධියේ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ආපසු ගෙන්වා ගැනීම සඳහා ලබා දුන් සහය වෙනුවෙන් එතුමා සෞදි අරාබියේ රජයට ස්තූතිය පුද කළේය.

දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි මෙන්ම සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රවල ද පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික සංවර්‍ධනය සඳහා සෞදි සංවර්ධන අරමුදල මඟින් ලබා දුන් ඵලදායී දායකත්වය කෘතඥතාවයෙන් යුතුව පිළිගන්නා ලදී.

සෞදි අරාබිය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සඳහා අඛණ්ඩව වැදගත්කමක් ලබා දෙන බවත්, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව විසින් හඳුනා ගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට හැකි වන බවත් සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අල්-ජුබීර් මැතිතුමා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමාට සහතික විය.

දෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන සමඟ සමීපව කටයුතු කළ බවත් අවස්ථා ගණනාවක දීම එකිනෙක රටවල අපේක්ෂකත්වයන් සඳහා සහයෝගය දැක්වූ බවත් අමාත්‍යවරුන් දෙදෙනාම සිහිපත් කළහ. සෞදි අරාබිය සහ පුළුල් කලාපය මුහුණ දෙන පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම පිණිස කලාපීය සහයෝගීතාව ඉල්ලා සිටින ලද සෞදි හරිත හා මැද පෙරදිග හරිත මුලපිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහයෝගය දක්වන ලද බව තවදුරටත් ඉස්මතු කෙරිණ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close