“විභව විකල්ප නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව” මැයින් 2021 ජූලි 26 දින පැවති වෙබිනාර් සාකච්ඡාව

“විභව විකල්ප නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව” මැයින් 2021 ජූලි 26 දින පැවති වෙබිනාර් සාකච්ඡාව

ශ්‍රී ලංකාව විභව නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස සහ අපනයන අරමුණු කරගත් නිෂ්පාදන සඳහා විභව ආයෝජන ගමනාන්තයක් ලෙස දැනුවත් කිරීම සඳහා, සිංගප්පූරු නිෂ්පාදන සම්මේලනය සහ සිංගප්පූරු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සමඟ එක්ව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ආයෝජන මණ්ඩලයේ ද සහාය ඇතිව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය විසින් “විභව විකල්ප නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව” යන මැයින් වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරන ලදි.

ප්‍රධාන දේශනය පවත්වමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ සහ රජය විසින් ගෙන ඇති පියවරයන් ඉස්මතු කළ අතර, විශේෂයෙන් අපනයන කෙරෙහි නැඹුරු වූ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තුළ රට තුළට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම ප්‍රතිපත්ති හා මුලපිරීම් ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කළේය.

සිංගප්පූරු නිෂ්පාදන සම්මේලනයේ සභාපති ඩග්ලස් ෆූ මහතා සිය අදහස් දක්වමින්, නිෂ්පාදනය 50% කින් වර්ධනය කිරීම සඳහා සිංගප්පූරුව “නිෂ්පාදන 2030” දැක්මක් තබා ඇති බව පැවසීය. වෙළඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව වැඩි හැකියාවක් ඇති බවත්, ඒ පිළිබඳව ගවේෂණය කළ යුතු බව ඔහු යළි අවධාරණය කළේය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිණිය  සිය ආරම්භක දේශනයේ දී, තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඖෂධ සහ බෝට්ටු හා නැව් තැනීමේ අංශයන්හි පවතින අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස සහභාගී වූවන්ගෙන් ඉල්ලා සිටියාය.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා නිෂ්පාදන පදනම් කරගත් ආයෝජන සඳහා හඳුනාගෙන ඇති ආයෝජන දිරිගැන්වීම් සහ අංශවලට විශේෂිත කලාප පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළේය.

හේලි පීඑල්සී සමූහයේ භාණ්ඩ ප්‍රවාහන කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිසෝ ඩි මෙල් මහතා මෙම වෙබිනාර් සාකච්ඡාවේ දී පුද්ගලික අංශය නියෝජනය කරමින්, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපාරවලට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත්, සැපයුම් දාමයන් කඩාකප්පල් වීම වළක්වා ගැනීම සඳහා විකල්ප ස්ථාන තිබීම අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇති බවත්, අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම පිළිබඳ දැක්මකින් යුතුව ඒ පිළිබඳව සලකා බලන ලෙස ඔහු ආයෝජකයින්ට ආරාධනා කළේය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ලක්ශාන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම වෙබිනාර් සාකච්ඡාව, මණ්ඩලයේ සාමාජිකවරුන් සමඟ පැවති සජීවී මණ්ඩල සාකච්ඡාවකින් අවසන් විය.

සිංගප්පූරුවෙන් 120 කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2021 ජූලි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close