දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවට ඔක්සිජන් සිලින්ඩර 85 ක් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සපයයි

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවට ඔක්සිජන් සිලින්ඩර 85 ක් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සපයයි

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව, දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞඛ්‍ය අංශය වෙත වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළේය. තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද වෛද්‍ය ආධාර සහිත සිව්වැනි ගුවන් භාණ්ඩ තොගය මෙය විය.

මෙම ඔක්සිජන් සිලින්ඩර තොගය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට භාර දෙන ලද අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

දෝහා හි වෙසෙන ශ්‍රී ලාංකික විදේශික ප්‍රජාව සහ අනෙකුත් හිතවතුන් එක්ව ආධාර කිරීම සඳහා පෙරමුණ ගෙන මෙම නොමසුරු පරිත්‍යාගය සිදු කළහ. රටේ පවතින බරපතල තත්ත්වය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා විසින් කරන ලද හදිසි ඉල්ලීමකින් පසුව මෙම පියවර ගන්නා ලදි.

මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ, දෝහා හි පිහිටි ශ්‍රී ලාංකික විධිමත් හා අවිධිමත් සංගම් 20 කට අධික සංඛ්‍යාවක් සහ ලුලු සමූහය සහ කටාර්හි වටාඩ් සමූහය වැනි දේශීය හිතවතුන් එක්ව ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහයෝගය දැක්වීම සඳහා පෙරමුණට පැමිණියේය.

ඔවුන්ගේ ඵලදායී උත්සාහය මත, සම්පූර්ණ වශයෙන් ඔක්සිජන් සිලින්ඩර 460 ක්, ස්පන්දන ඔක්සිමීටර 22 ක් සහ ඔක්සිජන් නියාමන උපකරණ 10 ක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයට ලබා දීමට සහ “ඉටුකම - කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වෙත කටාර් රියාල් 5,000/- ක මුදලක් ලබා දීමට මෙම තානාපති කාර්යාලයට හැකි විය.

මෙම අවශ්‍ය මෙහොතේ දී, සෙසු ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා දායක වූ සියලු පරිත්‍යාගශීලීන්ට, මෙම භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රශංසනීය සහයක් ලබා දුන් ශ්‍රීලංකන් ගුවන් සේවයට සහ මෙම උදාර අරමුණ වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට සහාය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය අවංක අගැයීම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ජූලි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close