මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

මියන්මාර බෞද්ධ භික්ෂූන් වහන්සේලා 400 නමකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය හදාරන බව ශ්‍රි ලංකාවේ මියන්මාර තානාපති යූ හැන් තූ මහතා ඉකුත් 16 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ සදහන් කෙළේය.මෙම හමු වීම විදේශ අමාත්‍යංශයේ සිදු විය. ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සහෝදර සබඳතා සහ සියවස් ගණනාවක් තිස්සේ පැවති බෞද්ධ සබඳතා මත පදනම් වූ හවුල් ඉතිහාසය පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. අනුපිළිවෙලින් 1803 සහ 1865 වසරවල දී ශ්‍රී ලංකාවේ අමරපුර සහ රාමඤ්ඤ නිකායයන් පිහිටුවීම, දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාක්ෂි දරන බව ද එතුමා අවධාරණය කළේය.

පසුගිය වසර ගණනාව තිස්සේ විවිධ යාන්ත්‍රණ හරහා දෙරට අතර පැවති දේශපාලන සබඳතා ඵලදායී වූ බවට එකඟ වූ මෙම සම්භාවනීය දෙපල, විශේෂයෙන් ශ්‍රී ලංකා - මියන්මාර පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම පුනර්ජීවනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ.

ථෙරවාද බුද්ධාගම මත පදනම් වූ මිත්‍රශීලී සබඳතා පිළිබඳ නිදර්ශනයක් ලෙස, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ බහුශ්‍රැතභාවය ප්‍රකට කිරීම සඳහා මියන්මාර රජය මඟින් වාර්ෂිකව පිරිනමනු ලබන ‘අග්ගමහා පණ්ඩිත’ ගෞරව නාමය වෙනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මියන්මාර රජයට ස්තූතිය පළ කළේය.

තවදුරටත්, පශ්චාත් කොවිඩ් අවධියේ දී වියහැකි ආර්ථික සහයෝගීතාව පිළිබඳව දෙරට විසින්ම සොයා බැලීම වැදගත් වන බව සඳහන් කළ අමාත්‍යවරයා, පොල් කර්මාන්තය, කෘෂිකර්මය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය, රබර් සහ නාවික කටයුතු වැනි ක්ෂේත්‍ර පිළිබඳව ඉස්මතු කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සහ කොළඹ මියන්මාර තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම රැස්වීම සඳහා සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close