ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් ශ්‍රි ලංකාවේ අපේක්ෂා රෝහල සමග සහයෝගයෙන් කටයුතු කීරිමට කැමත්ත පල කරයි

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් ශ්‍රි ලංකාවේ අපේක්ෂා රෝහල සමග සහයෝගයෙන් කටයුතු කීරිමට කැමත්ත පල කරයි

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් වන පැරිසීයේ , කියුරි ආයතනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වර්ධනය කර එම ආයතනයේ සේවාවන් ශ්‍රී ලංකාවට සැපයීමට කැමත්ත පල කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා  තානාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය  මහාචාර්ය  එම්මානුවෙල් ෆාජ් මහතාගේ විද්‍යාගාරය වෙත ගොස් නවීන පිළිකා පර්යේෂණ සඳහා භෞතික විද්‍යාව යෙදවීම පිළිබඳ කරුණු අධ්‍යයනයකින් අනතුරුව පැවැති සාකච්ඡාවකදී මෙලෙස කැමත්ත ප්‍රකාශ කර ඇත. මෙහිදී තානාපතිවරිය ප්‍රමුඛ පර්යේෂණ සහ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා එකවර පර්යේෂණ අධ්‍යයන සහ වෛද්‍ය ප්‍රතිකාර යොදා ගැනෙන කියුරි ආයතනයට අනුයුක්ත රෝහලේ ප්‍රතිශක්ති චිකිත්සක විද්‍යාගාරය ද නැරඹුවාය. කියුරි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය පියරේ ෆුමෝලියෝ සමඟ අපේක්ෂා පිළිකා රෝහල සමඟ සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ  විශ්වවිද්‍යාල සමඟ පිළිකා පර්යේෂණ පිළිබඳවද මෙහිදී  සාකච්ඡා කරන ලදි. තානාපතිනී හිරිඹුරේගම මැතිණිය රෝහලේ සහන විශේෂඥයින්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් සහිත රෝග  නිවාරණ සත්කාරක කණ්ඩායම හා රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, වෛද්‍ය ඇලෙක්සිස් බර්නොඩ් මහතා හමුවිය. පිළිකා රෝගීන් සඳහා මුල් කාලීන උපකාරක සත්කාරයේ වැදගත්කම පිළිබඳව මෙහි දී අවධාරණය කෙරිණි. රෝගියාගේ රෝග කාලසීමාව අතරතුර දී එක් එක් සම්භාවිතාව සඳහා නිසි පරිදි සැලසුම් කිරීම සඳහා මෙම පහසුකම බෙහෙවින් වැදගත් වන අතර, එමඟින් රෝගියාගේ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවයි. මෙම රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් රෝග විනිශ්චය ආරම්භයේ සිටම ප්‍රතිකාර පැකේජ පිළියෙල කරන බවත් ප්‍රතිකාර කාලය පුරාම අනුගමනය කරන බවත් දැන ගැනීම සුවිශේෂී කරුණකි.

තවද, පිළිකා රෝගීන් සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයින්ගේ හුවමාරු වැඩසටහනක් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපේක්ෂා රෝහල/පිළිකා රෝහල සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සමඟ සංවිධානය කිරීම සඳහා එකඟ විය.

ඕර්සේ හි ප්‍රෝටෝන්තෙරපි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රෙමී ඩෙන්ඩේල් මහතා ද ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට කැමැත්ත පළ කළේය. ප්‍රෝටෝන චිකිත්සාව විශේෂයෙන් පිළිකා රෝගයෙන් පෙළෙන ළමා රෝගීන් සඳහා වන ශ්‍රී ලංකාවේ නොමැති පහසුකමකි.

තවද, මෙම නව්‍ය තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ රෝගීන්ට හඳුන්වා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. පැරීසියේ කියුරි ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමක් අත්සන් තැබීම සඳහා කියුරි ආයතනයේ කණ්ඩායමක් දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරයි. ප්‍රංශයට සහ ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස දේශීය ප්‍රතිකාර සඳහා ශාක පිළිබඳ පර්යේෂණ සහ දේශීය ඖෂධීය ශාක පිළිබඳ පර්යේෂණ ද ඊට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ජූලී මස 14 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close