තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවේනියාවේ දී සිය අක්ත පත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවේනියාවේ දී සිය අක්ත පත්‍ර පිළිගන්වයි

ස්ලෝවේනියානු රජය සමග ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු යන අංශවල මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ස්ලෝවේනියාවේ ශ්‍රි ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එරට ජනාධිපති බොරෑට් පාහෝර් මහතා සමඟ සඳහන් කර ඇත. තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා, 2021 ජුනි 29 වැනි දින ජුබ්ල්ජානා හි ජනාධිපති මන්දිරයේ දී ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බොරූට් පාහෝර් මැතිතුමා වෙත ස්ලෝවේනියාවේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස සිය අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් පසු මේ බව සඳහන් කර ඇත.

ස්ලෝවේනියානු සන්නද්ධ හමුදා විසින් පිරිනැමූ ආචාර පෙළපාලියක් සමඟ අක්ත පත්‍ර පිළිගැන්වීමේ  උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව අක්ත පත්‍ර පිළිගැන්වීම සහ ජනාධිපති බෝරට් පාහෝර් මැතිතුමා හමුවීම සිදුකෙරිණ.තානාපතිවරයා සමඟ තානාපති කාර්යාලයේ උපදේශක සහ චාන්සරි ප්‍රධානී චරිත වීරසිංහ මහතා සහ ස්ලෝවේනියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ඇන්ඩ්‍රෙජ් ප්‍රෙබිල් මහතා ද සහභාගී වූහ.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෝරුට් පාහෝර් මැතිතුමා සහ ස්ලෝවේනියාවේ ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ පැතුම් පිරිනැමීය. ස්ලෝවේනියාවේ රාජ්‍යත්වය පිළිබඳ 30 වැනි සංවත්සරය සහ ස්ලෝවේනියාව 2021 ජූලි 1 වැනි දින යුරෝපා කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම පිළිබඳව ද තානාපතිවරයා උපහාර දැක්වීය. ජනාධිපති බෝරුට් මැතිතුමා ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා  වෙත සුබ පැතුම් එක් කළ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා  සිය කැමැත්ත පළ කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ස්ලෝවේනියානු ජනාධිපතිවරයා දැනුවත් කළ තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා, එන්නත් බෙදා හැරීම සමාන අයුරකින් සිදුවනු ඇතැයි අපේක්ෂාව පළ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ජනාධිපති බොරූට් පාහෝර් මැතිතුමා වෙත ආරාධනයක් කළේය. ස්ලෝවේනියානු ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

අක්තපත්‍ර පිළිගැන්වීමට අතිරේකව, තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවේනියාවේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය ලේකම් ආචාර්ය ඊගෝර් සෙන්කාර් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය ස්ටැනිස්ලාව් රාස්කන් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා හා ඕෂනියා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බොජන් බර්ටන්සෙල්ජ් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු හා සංවර්ධන සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් ඊගෝර් ජුකික් මහතා යන අය සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ස්ලෝවේනියානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙස් කබ්ටාරුටි මහතා සහ ස්ලෝවේනියානු සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මාජා පාක් මහත්මිය සමඟ ද නව සාමාන්‍යය තුළ වෙළඳාම, ආයෝජන සහ සංචාරක අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන ලදි.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 1998 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, ඔස්ට්‍රියාව සඳහා පත්වීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කළේය. මහජන චීන සමූහාණ්ඩුවේ ෂැංහයි හි කොන්සල් ජෙනරාල් තනතුර සහ මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් තනතුර එතුමාගේ රාජ්‍යතාන්ත්‍රික වෘත්තියට අයත් විය.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2021 ජූලි 7 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close