දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සවිබල ගැන්වීම වෙනුවෙන් තවත් ඔක්සිජන් සිලින්ඩර් 125ක් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර 10ක් පරිත්‍යාග කිරීම

දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සවිබල ගැන්වීම වෙනුවෙන් තවත් ඔක්සිජන් සිලින්ඩර් 125ක් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර 10ක් පරිත්‍යාග කිරීම

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, දෝහා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔක්සිජන් සිලින්ඩර් 125 ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10කින් සමන්විත දෙවන උපකරණ කට්ටලය ශ්‍රී ලංකා රජය වෙත ගුවන් මගින් පිටත් කර හරින ලදි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සලකා බලමින්, ශ්‍රී ලංකා තානාපති එම්. මෆාස් මොහිදීන් මහතාගේ ඉල්ලීම මත, එහි වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව, සුබ පතන්නන් හා ‍දෝහා හි Watad Group Enterprises විසින් මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සිලින්ඩර් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර සහිත බහාලුම ලබා දුන් අතර, වසංගත තත්ත්වය තුල හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ රෝහල් අතර ඒවා බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.

තානාපති කාර්යාලය මගින් දැනටමත් ඔක්සිජන් සිලින්ඩර් 275ක්, නාඩි පරීක්ෂා කිරීමේ යන්ත්‍ර (Pulse Oximeters) 22ක් හා ඔක්සිජන් පාලක යන්ත්‍ර 10ක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශය වෙත සාර්ථකව ලබා දී ඇති අතර, එම කර්තව්‍යය ඉදිරියට ගෙන යාමට අදහස් කරයි.

තානාපතිතුමාගේ ඉල්ලීම මත මෙම භාණ්ඩ තොගය නොමිලේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් තානාපති කාර්යාලය ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත සිය ප්‍රණාමය පුද කර සිටියි.

දෝහා හි ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව, අනුබද්ධිත ආයතන හා සුබ පතන්නන් විසින් ලබා දුන් අමිල සහාය මෙන්ම මෙම කර්තව්‍යය වෙනුවෙන් ලබා දුන් දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් වෙත සිය හෘදයාංගම ප්‍රණාමය පිරිනමයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ජුනි මස 21 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close