ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සදහා ව්‍යාපාරික සබඳතා පුළුල් කල යුතු බව ශ්‍රී ලංකාවේ අමාත්‍ය දෙපලක් සහභාගි වු සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරයි

ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සදහා ව්‍යාපාරික සබඳතා පුළුල් කල යුතු බව ශ්‍රී ලංකාවේ අමාත්‍ය දෙපලක් සහභාගි වු සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරයි

ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මට්ටම් ගණනාවක ව්‍යාපාරික සබඳතා පුළුල් කළ යුතු බව  රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් විමල් වීරවංශ හා අජිත් නිවාඩ් කබ්රාල් යන අමාත්‍යවරු සහභාගි වූ රැස්වීමකදී අවධාරණය කර තිබේ.රුසියානු සමූහාණ්ඩුවේ ශාන්ත පීටර්ස්බර්ග් හි 2021 ජුනි 2-5 දිනවල දී පැවති 24 වැනි ජාත්‍යන්තර ආර්ථික සංසදයේ රැස්වීමට සහභාගී වීමට ගිය අතරතුර ලද ආරාධනයකට අනුව රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන මණ්ඩල සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ  ශ්‍රී ලංකාවේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා සමඟ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතාද එක් වී ඇත. මෙම සාකච්ඡාවට රුසියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී ඇත.

ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකයන් මෙම සංසදයේ මෙරටට අදාළ සැසිවාර කිහිපයකට සහභාගී විය. රජයේ ප්‍රමුඛ පුද්ගලයින්; ප්‍රධාන සංස්ථා සහ මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ විධායකයින්; කීර්තිමත් විශේෂඥයින් සහ පුරෝගාමී ව්‍යවසායකයින්ගේ ද සහභාගීත්වයෙන් යුතුව, රුසියානු සමූහාණ්ඩුව මෙන්ම ගෝලීය ආර්ථිකයන් ද මුහුණ දෙන වඩාත්ම දැවෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙම සංසදය වේදිකාවක් සපයා ඇත. විශේෂයෙන් වර්තමාන වසංගත තත්ත්වය තුළ විවෘත හා ඵලදායී සංවාදයක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව සියලු සැසිවාරයන්හි දී අවධාරණය කරන ලදි. ශ්‍රී ලංකා දූත පිරිස,රුසියානු සමාගම් 100 කට අධික සංඛ්‍යාවකට අයත් මණ්ඩප ඉදිරිපත් කළ සංසදයේ ප්‍රදර්ශන භූමිය ද නැරඹූ අතර, ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම සහ අනාගත සහයෝගීතාවයන් සඳහා සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලැබුණි.

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්‍ය මහලේකම් ස්ටැනිස්ලාව් කොරොලෙව් මහතා සමඟ ද ශ්‍රී ලංකා දූත පිරිස රැස්වීමක් පැවැත්වීය. මෙම සංවාදය අතරතුර දී, ශ්‍රී ලංකාව හා රුසියාව අතර මිත්‍ර සබඳතා සහ ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර තලයේ වර්ධනය පිළිබඳ මාතෘකා සාකච්ඡා කෙරිණි. ඉතා අන්තර් ක්‍රියාකාරී හා ඵලදායී ආකාරයකින් පවත්වන ලද මෙම ද්විපාර්ශ්වික රැස්වීමේ දී, දෙරට අතර පවත්නා සබඳතා තීව්‍ර කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීම සඳහා රුසියානු පාර්ශ්වය සිය කැමැත්ත ප්‍රකාශ කළ අතර, 2022 දී පැවැත්වෙන සංසදයේ දී ආගන්තුක රටක් ලෙස සහභාගී වීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ඔහු ශ්‍රී ලංකා පාර්ශවයට ආරාධනා කළේය.සංසදයට අමතරව, ශ්‍රී ලංකා දූත පිරිස රුසියානු සමාගම් සඳහා ශ්‍රී ලංකාවේ පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව්හි වෙසෙන සාර්ථක ව්‍යවසායකයින් සමඟ ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) තවිෂ්‍යා මුල්ලෙගම්ගොඩ මහත්මිය, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ මහතා, රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නුවන් දිසානායකගේ මහතා, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ඩී. අමරසිංහ මහත්මිය සහ තානාපතිවරයාගේ පෞද්ගලික සහකාර ඔලෙස්යා රොමානෝවා මහත්මිය ද ශ්‍රී ලංකා දූත පිරිසට එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ජූනි මස 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close