කොරියානු ජනරජයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 

කොරියානු ජනරජයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 

මූන් යොං-ජෝ මහතා ප්‍රධානත්වය දරන කොරියාවේ ජාත්‍යන්තර අන්තර්හුවමාරු සංවර්ධන සංගමය  (IIDA),රුපියල් මිලියන 135 ක් පමණ වටිනා පිළිකා සුව කරන නවීන යන්ත්‍රයක් ඇතුළු සනීපාරක්ෂක දුව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම  පිළිකා රෝග හඳුනාගැනීම් සහ නිවාරණ යන්ත්‍රයෙහි වෙළදපොළ වටිනාකම ඇ.ඩො.365000 ක් පමණ වන බව ද සඳහන්ය. මෙම වෛද්‍ය උපකරණය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගැනීම පිණිස කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සාජ් යූ. මෙන්ඩිස් මහතා සහ තානාපති කාර්යාලයේ වාණිජ අංශයේ උපදේශක රේඛා මල්ලිකාආරච්චි මහත්මිය 2020 නොවැම්බර් මාසයේ සිට IIDA ආයතනය සමග සාකච්ඡා පවත්වා තිබේ. තවද කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම මගින් ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා ද මෙම යන්ත්‍රය භාවිතා කිරීමට හැකි වීම විශේෂත්වයකි.

මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවට නැව්ගත කිරීම පිණිස ආචාර්ය මෙන්ඩිස්  සහ තානාපති කාර්යාලයේ වාණිජ අංශය IIDA සභාපතිවරයා සමග ගිවිසුමකට අත්සන් තැබීය. මේ වන විට ලෝකයේ භාවිතා වන ඉතාමත්ම නවීන පිළිකා සොයාගැනීම් හා නිවාරණ යන්ත්‍රයක් වන මෙය ශ්‍රී ලංකාවේ පිළිකා සහ පිළිකා ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් හා සැනසීමක් වනු ඇත. යන්ත්‍රය භාරදීමේ හා ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයේදී, ආචාර්ය මෙන්ඩිස් මහතා ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව සංවර්ධිත හා ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමන් පවතින රටවල ජනතාවගේ අකල් මරණයන්ට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පිළිකා රෝගය බවයි. ඒ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ සෑම දිනයකම ලොව පුරා 30,000 ක් දෙනා පිළිකා රෝගයෙන් මියයන බවත් හදවත් රෝග හැරුණු විට වෙනත් කවර හෝ මරණ සදහා හේතුවලට වඩා එය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්ය. වෙනත් වචනවලින් පැවැසුවහොත්, 2020 වසරේදී ලොව පුරා මිලියන 10 කට ආසන්න ජනතාවක් පිළිකා හේතුවෙන් මියගොස් තිබේ. IIDA සභාපති මූන් මහතා මෙන්ම ආචාර්ය මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ මුල් අවස්ථාවේ හඳුනා ගතහොත් පිළිකාව යනු බොහෝ දුරකට වළක්වා ගත හැකි රෝගයක් බවයි. IIDA ආයතනය පරිත්‍යාග කළ මෙම යන්ත්‍රය පිළිකා රෝග තත්ත්වයන් කල් තබා හඳුනාගෙන ඒවා දෙවන සහ තුන්වන අදියර දක්වා වර්ධනය වීම වළක්වාලීමට බෙහෙවින් උපකාරක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 පිළිකා රෝග අතුරින් වඩාත්ම මාරාන්තික පිළිකා රෝග වනුයේ පුරස්ථි, අග්න්‍යාශයික, පියයුරු හා පෙණහලු පිළිකා වන අතර ආචාර්ය මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ වාර්ෂිකව ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් පිළිකා රෝගයෙන් මිය යන බවයි. IIDA සභාපති මූන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර ජාත්‍යන්තර අන්තර්හුවමාර සංවර්ධන සංගමය ලොව පුරා රටවල් ගණනාවක පරාර්ථකාමී සහ සමාජ සේවා කාර්යයන්හි නිරත වේ. IIDA සභාපතිතුමන් සඳහන් කර සිටියේ කොවිඩ්-19 වසංගත තත්ත්වය නිමාවූ පසුව පිළිකා සොයා ගැනීම් හා නිවාරණ යන්ත්‍රය පිළිබද ශ්‍රී ලංකාවේ අදාළ පිරිස් දැනුවත් කිරීම පිණිස විශේෂඥයන් හා තාක්ෂණික ශිල්පීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවට පිටත් කර යවන බවයි.මෙම පිළිකා සොයාගැනීම් හා නිවාරණ යන්ත්‍රය මෙන්ම සනීපාරක්ෂක නිෂ්පාදන තොගය පරිත්‍යාග කිරිම සදහා ශ්‍රී ලංකාව තෝරාගැනීම සම්බන්ධයෙන් ආචාර්ය මෙන්ඩිස් මහතා IIDA සංගමය වෙත සිය බලවත් කෘතවේදීත්වය හා ප්‍රසාදය පළ කර සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2021 ජූනි මස 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close