ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වෙත කෘතඥතාව පළකරයි

ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වෙත කෘතඥතාව පළකරයි

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් මැතිනිය සමඟ ජුනි 09 වැනි බදාදා දින පැවති දුරකථන සංවාදයක දී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය හදපිරි කෘතඥතාව පළ කළේය.

යුනිසෙෆ් ආයතනය හරහා පරිත්‍යාග කරන ලද රු. මිලියන 1,787 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය කොවිඩ්-19 සැපයුම් සහ ආරක්ෂක උපකරණවලින් සමන්විත කොවිඩ්-19 වසංගතය සීමා කිරීමේ භාණ්ඩ තොගය සහිත ඕස්ට්‍රේලියානු ආධාරය විදේශ අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කළේය. මීට අමතරව, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් යානය මඟින් රැගෙන එන ලද මුහුණු ආවරණ මිලියන 9.8 ක් සහ ආරක්ෂක ආවරණ 3,200 ක්, 2021 ජුනි මස 4 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමද එතුමා අගයනු ලැබීය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ද විදේශ අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව ධනාත්මකව සලකා බැලීමට ඕස්ට්‍රේලියානු අමාත්‍යවරිය එකඟ වූවාය.

ලබන වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සුදුසු වැඩසටහන් දියත් කිරීමට ද අමාත්‍යවරු එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රයත්න සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සංවර්ධන සහාය විසින් ධනාත්මකව කටයුතු කර ඇති ආකාරය පිළිගැනීමට ලක් කළ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් කරන ලද විශේෂිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම පිණිස ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දීම සඳහා ද ඉදිරිපත් විය.

මෙම සංවාදය අතරතුර දී අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා කාබනික පොහොර පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය ලබා දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා කළ ඉල්ලීම ඉදිරිපත් කළ අතර, අමාත්‍ය පේන් මැතිනිය ඊට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියානු පර්යේෂණ ආයතන හරහා ඕස්ට්‍රේලියාව එම ක්ෂේත්‍රයේ තාක්ෂණික සහාය ලබා දෙන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන  ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 58 ක ව්‍යාපෘති ඇතුළුව, පුළුල් පරාසයක ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ. පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධාන, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය සහ බාලි ක්‍රියාවලිය වැනි ආසියානු කලාපීය සංවිධාන සමඟ එක්ව, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවට අමාත්‍ය පේන් මැතිනිය ලබා දුන් සහතිකය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close