දකුණු අප්‍රිකාවේ ආනයන හා අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළඳාම්  කටයුතු සදහා කොළඹ නිදහස් වෙළඳ කලාපය යොදා ගන්නැයි ඉල්ලයි

දකුණු අප්‍රිකාවේ ආනයන හා අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළඳාම්  කටයුතු සදහා කොළඹ නිදහස් වෙළඳ කලාපය යොදා ගන්නැයි ඉල්ලයි

දකුණු අප්‍රිකානු ආනයන හා අපනයනකරුවන්ට ඔවුන්ගේ කලාපීය හා ගෝලීය බෙදාහැරීමේ මෙහෙයුම්, හා එක්ලස් කිරිම ඇතුළු වාණිජ  කටයුතු සදහා කොළඹ නිදහස් වෙළඳ කලාපය යොදා ගන්නා ලෙසට දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා   ඩර්බන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ   නිලධාරීන්ට යෝජනා කර තිබේ.

ඩර්බන්හි සිදු කළ සිය නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා සහ වෙළඳ නිලධාරි සංජීව බණ්ඩාර මහතා ඩර්බන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි පලේසා ෆිලි මහත්මිය සහ එහි ජාත්‍යන්තර වෙළඳාම් අංශයේ ප්‍රධානි ඩුමිල්කුබෝන් මහතා මුණ ගැසුණි. වසර 150කට වැඩි අතීතයකට හිමිකම් ඇති ඩර්බන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අප්‍රිකානු කලාපයේ ඇති පැරැණිම වාණිජ මණ්ඩලයක් වන අතර එය දකුණු අප්‍රිකාවේ වාණිජ හා සැපයුම් කේන්ද්‍රයේ පිහිටා තිබේ.

ශ්‍රී ලංකාවේ සැපයුම් හා සේවා, බෝට්ටු නිෂ්පාදනය සහ ඇඟලුම් අංශයේ ව්‍යාපාර සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සාකච්ඡාවේ මූලික අරමුණ විය. ලෝකයේ අනෙකුත් කලාපයන් සමග අපනයන පැතිකඩ සංවර්ධනය වෙමින් හා විවිධාංගීකරණ වෙමින් පැවැතියද, දැනට ඇ.ඩො. මිලියන 250 ක වාර්ෂික සාමාන්‍යයකින් යුත් දකුණු අප්‍රිකාව සමග වෙළඳාම පසුගිය වසර 5-6 ක කාලය තුළ එකතැන රැඳෙමින් පවතින බවත් එය දෙරටෙහිම තෝරාගත් අංශ කිහිපයකට පමණක් සීමා වී ඇති බවත් මහ කොමසාරිස්වරයා අවධාරණය කරන ලදී. දකුණු අප්‍රිකාව වෙත ශ්‍රී ලංකාවේ අපනයන තේ, ඇඟලුම්, රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආදී සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් සමන්විත වන අතර දකුණු අප්‍රිකාවෙන් ප්‍රධාන වශයෙන් නොරොච්චෝලේ විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු අපනයනය කරයි.

එබැවින්, ඉන්දියානු උප මහාද්වීපය සහ චීනය, කොරියාව, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි නැගෙනහිර ආසියානු රටවල් ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන දකුණු අප්‍රිකානු ආනයන හා අපනයනකරුවන්ට ඔවුන්ගේ කලාපීය හා ගෝලීය බෙදාහැරීමේ මෙහෙයුම්, අන්තරාලීය වෙළඳාම, බහු රාජ්‍ය ඒකාබද්ධ කිරීමේ හා කණ්ඩායම් කිරීමේ සේවා, තත්ත්ව ආරක්ෂණ මෙහෙයුම්, ගබඩා කිරීම් සහ එකලස් කිරීම් සදහා කොළඹ නිදහස් වෙළඳ කලාපය යොදා ගන්නා ලෙසට මහ කොමසාරිස්වරයා ඇරයුම් කර සිටියේය. කොළඹ නිදහස් වෙළඳ කලාපයේ මෑතක සිදුකරන ලද සංවර්ධනය සමගින් කලාපයේ අනෙකුත් තරඟකරුවන් හා සමාන අගය එකතුකළ සේවා රැසක් කොළඹ නිදහස් වෙළඳ කලාපය පිරිනමන බව ඔහු පෙන්වා දුන්නේය.

දකුණු අප්‍රිකාව බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන ඇති බැවින්, කර්මාන්තයේ වත්මන් ධාරිතාව ඉහළ නැංවීම පිණිස ප්‍රමුඛ පෙළේ නිෂ්පාදයන් අතර තාක්ෂණික හා අලෙවිකරණ සහයෝගිතාවක් වර්ධනය කිරීමට මහ කොමසාරිස්තුමන් යෝජනා කරන ලදී. එසේම, මෙම කලාපයේ සහ ලෝකයේ අනෙකුත් කලාපවල නව ගැනුම්කරුවන් සොයා ගැනීම පිණිස දකුණු අප්‍රිකාවේ ධීවර සහ විනෝදන බෝට්ටු වෙළඳපොළවල සමග සමීපව කටයුතු කිරීමට මෙරට බෝට්ටු නිෂ්පාදකයන් දිරිමත් කළ යුතුය. ඇඟළුම් නිෂ්පාදනය දකුණු අප්‍රිකාවේ රැකියා අවස්ථා බිහිකරන ප්‍රධානතම කර්මාන්තයක් බැවින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා රජය ඊට පහසුකම් සපයයි. තවද, දේශීය නිෂ්පාදකයන්ට අතිරේක ආරක්ෂාවක් සැපයීම පිණිස ආනයනය කරන ලද ඇඟළුම් මත දකුණු අප්‍රිකාව 40% සිට 50% දක්වා තීරුබදු පවත්වා ගනියි. එබැවින් තවදුරටත් පිරිසැකසුම් කිරීම පිණිස අර්ධ නිමි නිපැයුම් දකුණු අප්‍රිකාවට සහ දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ රටවලට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස යෝජනා කරන ලදී.

දෙරටෙහි ම එළවලු සහ පළතුරු සැපයුමේ වාරික අතිරික්තය/ හිඟය වාසියට යොදා ගැනීමේ අවස්ථා සොයා බලන ලෙස ඩර්බන් වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී යෝජනා කරන ලදී. විශේෂයෙන්ම සිට්රස් පළතුරු, අර්තාපල් සහ රතුලූනු තරඟකාරී මිලකට දකුණු අප්‍රිකාවේ පවතින බවත්, වෙළඳපොළ ඉල්ලුම සපුරාලීම පිණිස, වසර තුළදී,  ඇතැම් ඝර්ම කලාපික පළතුරු හා එළවලු දකුණු අප්‍රිකාව ආනයනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස දෙරටෙහිම පළතුරු හා එළවලු ආනයන හා අපනයනකරුවන් අතර හමුවක් සඳහා කටයුතු යෙදීමට මහ කොමසාරිස්වරයා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 ජූනි මස 04 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close