ආරක්ෂක මණ්ඩලයේ අරියා රීතියේ රැස්වීම “ආදර්ශය තුළින් මෙහෙයවීම සඳහා කැඳවීම: එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාම ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ පූර්ණ, සමාන හා අර්ථවත් සහභාගීත්වය සහතික කිරීම”

ආරක්ෂක මණ්ඩලයේ අරියා රීතියේ රැස්වීම “ආදර්ශය තුළින් මෙහෙයවීම සඳහා කැඳවීම: එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාම ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ පූර්ණ, සමාන හා අර්ථවත් සහභාගීත්වය සහතික කිරීම”

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය

2021 මාර්තු 08 වැනි දින (අතථ්‍ය)

සභාපතිතුමියනි, “ජාත්‍යන්තර කාන්තා දිනය” සමරනු ලබන ඉතා වැදගත් දිනයක දී එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාම ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම අවස්ථාව සූදානම් කිරීම පිළිබඳව සම සභාපතිත්වය දරන මෙක්සිකෝවට සහ අයර්ලන්තයට ස්තූති කිරීමට හා සුබ පැතීමට මට අවසර දෙන්න.

ගැටුම්වලින් පීඩා විඳින බොහෝ ප්‍රජාවන් හි මානව හිමිකම් උල්ලංඝන, කාන්තාවන් හා ළමයින් කෙරෙහි අසමාන ලෙස බලපාන බව අප බොහෝ අවස්ථාවල දී අසා ඇති සහ දන්නා සත්‍යයක් වේ. ප්‍රචණ්ඩත්වය හා අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇති අවස්ථාවල දී, කාන්තාවන් ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්වන කොටසක් වන අතර, සමාජයේ පවතින වෙනස්කම් වලට අමතරව, එවැනි උල්ලංඝන සිය පවුල තුළදීම අත්දැකීමට පවා ඔවුන්ට සිදු විය හැකිය. වසංගතය හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බව අපි දනිමු.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් ලබා ඇති වඩාත්ම ප්‍රගතිශීලී සැලැස්ම ලෙස සැලකෙන බීජිං ප්‍රකාශනය සහ ක්‍රියාකාරී වේදිකාව පිළිබඳ 25 වැනි සංවත්සරය,  කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 වැනි යෝජනාවේ 20 වැනි සංවත්සරය (WPS) සහ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාවතේ වසර 05 ක සන්ධිස්ථානය සැමරූ පසුගිය වසර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වැදගත් වසරක් විය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් වැදගත් පියවර ගෙන ඇති බව පිළිගන්නා අතරම, කාන්තාවන්ගේ සමාජ-ආර්ථික හා දේශපාලන සංවර්ධනය අඩාල කරන අභියෝග සහ බාධක පවතින බව ද අපි දනිමු.

කෙසේ වෙතත්, මා අපගේ මානව හිමිකම් කොමසාරිස් බැචලෙට් මැතිනියගේ ආචාර පණිවුඩය කඩිනමින් අපට සිහිපත් කරවිය යුතුය. “බීජිං ක්‍රියාකාරී වේදිකාව යනු විප්ලවීය කටයුත්තකි. අප සැමවිටම එය සැමරිය යුතු නමුත්, බීජිං න්‍යාය පත්‍රය නිම නොකළ බව අප විසින්ම මතක් කර ගත යුතුය. පසුබෑම පිළිබඳ අවදානම සැබෑ ලෙස පවතින අතර, වර්ධනය වෙමින් පවතී.” “කාන්තාවන්ගේ අයිතිවාසිකම්  යනු මානව අයිතිවාසිකම් වන අතර, ඒවා මිල කළ නොහැකි ය. මානව ගරුත්වය බෙදීමට, කොටස් කිරීමට හෝ සම්මුතියකට ලක් කිරීමට නොහැකිය - එය ස්වල්ප දෙනෙකුගේ වරප්‍රසාදයක් වීමට ද නොහැක. අප දන්නා මෙම කරුණු පිළිබඳව අසීරුවෙන් දිනාගත් සහතිකයට එරෙහිව පවත්නා අභියෝගවලට අප විරුද්ධ විය යුතුය.” යයි ඇය තවදුරටත් කියා සිටියාය.

මෙහි දී මලාලා යූසෆ්සායි මහත්මිය පැවසූ වදන් ද මට සිහිපත් වන අතර, ඒවා උපුටා දක්වමි. “මම හඬ නඟන්නේ මට හඬ නැඟිය හැකි නිසා නොව, හඬක් නොමැති අයගේ හඬට ඇහුම්කන් දීමට සැලැස්වීමටය. අපගෙන් අඩක්  පසුපසට කොට රඳවාගෙන සිටින විට දී අපට සාර්ථක විය නොහැක.” උපුටාගැනීම අවසන්. සහතික ලෙස, කාන්තාවන්, සාමය හා ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය සම්මත කොට වසර 20 ක් ගතවී ඇතත්, කාන්තාවන් පසුපසට කොට රඳවාගෙන සිටින බව අපට තවමත් හැඟී යාමට හේතුව මෙය විය යුතුය. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අපට කළ හැක්කේ කුමක් ද? සාම ක්‍රියාවලි හා දේශපාලන කටයුතු වල දී කාන්තාවන්ගේ නායකත්වය සහ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සහතික කරන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ මට්ටමින් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරුන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩි දියුණු කිරීම සඳහා ඔහු ගෙන ඇති නායකත්වය පිළිබඳව මහලේකම්වරයාට අපි ප්‍රශංසා කරමු. එක්සත් ජාතීන්ගේ ක්ෂේත්‍ර මෙහෙයුම් වල දී කාන්තාවන්ගේ නායකත්වය 41% ක් ලෙස පවතී. සෑම මට්ටමකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සඳහා මහලේකම්වරයා දරන ප්‍රයත්නයට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය වනු ඇත.

සභාපතිතුමියනි, පළමු “සම්භාව්‍ය” සාම සාධක මෙහෙයුම වූ UNEF 1 පිහිටුවීම සඳහා හේතු වූ 1956 උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස සේවය කරමින්, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සමඟ දීර්ඝ සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වේ. එය සූවස් අර්බුදය අතරතුර දී යොදවා ගන්නා ලද අතර, පසුව 1960 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයට (MONUC) සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ලෙස යොදවන ලදී. මානව පලිහ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ළමා සොල්දාදුවන් භාවිත කළ ත්‍රස්ත සංවිධානයක් සමඟ මානුෂීය අරගලයක නිරත වීම තුළින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ලබාගත් විශේෂඥ දැනුම, ලෝකයේ දුෂ්කර ප්‍රදේශවල මානුෂීය කටයුතු ක්ෂේත්‍රයේ දුෂ්කර හා සංකීර්ණ භූමි ප්‍රදේශ හැසිරවීමේ දී බෙදාහදා ගෙන ඇත.

එතැන් සිට, ලොව පුරා එක්සත් ජාතීන්ගේ සාම දූත මණ්ඩලවල සේවය කරන 20,000 කට අධික සංඛ්‍යාවක ශ්‍රී ලාංකික සාම සාධක භටයන් වඩාත් දුෂ්කර හා භයානක භූමිවල ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට තීරණාත්මක සේවාවන් සපයන අතර, ඔවුන්ගේ ධෛර්යය හා හැකියාවන් මත ඔවුන් පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර, ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩල විසින් අගය කරනු ලැබේ. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව කාන්තා සාම සාධක භටයින් දිරිගැන්වීම සඳහා නිරන්තරයෙන් උත්සාහ දරමින් සිටින අතර, මේ වන විට කාන්තා සාම සාධක භටයන් 12 දෙනෙක් දකුණු සුඩානයේ සේවය කරති. කාන්තා සාම සාධක භටයින් විසින් සමස්ත සාම සාධක කාර්ය සාධනය වැඩි දියුණු කරන බවත්, ප්‍රජාවන් වෙත  වැඩි ප්‍රවේශයක් ලබාදෙන බවත්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන අතර, සාමය හා දේශපාලන ක්‍රියාවලීන්ගේ අර්ථවත් කොටසක් බවට පත්වීම සඳහා කාන්තාවන් දිරිමත් කරන බවත් අපි විශ්වාස කරමු.

එක්සත් ජාතීන්ගේ පදනමේ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කැතී කැල්වින් මහත්මිය පැවසූ පරිදි, “සෑම ගැහැණු ළමයෙක්ම උගත්, සෞඛ්‍ය සම්පන්න, දක්ෂ හා සවිබල ගන්වන ලද බවට සහතික කිරීම සඳහා අප නැවතත් කැප විය යුතුය. ඔවුන්ගේ අද දවස වෙනුවෙන් ආයෝජනය කිරීම අපගේ හෙට දවස වෙනුවෙන් ආයෝජනය කිරීමයි. මේ සියලු පරමාදර්ශයන් සඳහා වචනයෙන් පමණක් සේවය කිරීමට වඩා වැඩි යමක් කරමින්, මානව වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් කෘතඥතාවයෙන් යුතුව ණය ගෙවිය යුතු ලෝක කාන්තාවන්ගේ සැබෑ වෙනසක් සඳහා කටයුතු කිරීමට අද අපි ප්‍රතිඥා දෙමු.”

කාන්තාවන් මුහුණ දෙන බාධක පිළිබඳ අත්දැකීම් සහ එවැනි පසුබෑමෙන් මිදීම සඳහා අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර ප්‍රජාව අතර බෙදාහදා ගැනීම ප්‍රයෝජනවත් වන අතර, යෝජිත වැඩසටහන් සහ උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතු විවිධ තත්ව හා අවස්ථා පිළිබඳව අප සංවේදී විය යුතුය. සමාජයේ කාන්තාවන්ගේ කාර්යභාරය විවිධ සංස්කෘතීන්ට අනුව වෙනස් වන අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සියලු අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැක. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ගෘහස්ථ බලකිරීම් හා අවශ්‍යතාවන්ට අනුකූලව සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.

සභාපතිතුමියනි, රටවල සමාජ, ආර්ථික හා දේශපාලන සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ අගනා දායකත්වය පිළිබඳව අප අඛණ්ඩව දැනුවත්ව සිටිමින්, දේශීය සන්දර්භයන්ට හිතකර ලෙස ස්ථාවර හා තිරසාර සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ ප්‍රතිපත්ති සඳහා වන අපගේ කැපවීම නැවත තහවුරු කරමු. ගෝලීය ප්‍රජාවක් වශයෙන් අප මෙම මාර්ගයෙන් බැහැර නොවිය යුතු අතර, කළින් නොඇසුණු හඬවල් ශබ්දනඟා සහ පැහැදිලිව ඇසෙන බවට සහතික විය යුතුය.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close