පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අතින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පෙරමුණේ. - ඇමති දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අතින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පෙරමුණේ. – ඇමති දිනේෂ් ගුණවර්ධන

මේ වසරේ සිය පළමු විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමාට ස්තූති කිරීමට මම කැමැත්තෙමි. ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබට ස්තූතියි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමා සමඟ මම සුහද හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවෙමි.

ගරු මැතිතුමනි, මීට වසර 2,600 කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කිරීමෙන් ශ්‍රී ලංකාව තුන් වරක් ආශීර්වාද ලැබීය. මීට වසර 2,300 කට පෙර භාරතයේ මහා අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා සහ දියණිය වන මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ සංඝමිත්තා මහ රහත් මෙහෙණිය යන දෙදෙනා වහන්සේගේ පැමිණීම තුළින් ශ්‍රී ලංකාවේ බුද්ධශාසනය පිහිටුවනු ලැබීය.

දෙරට අතර පවත්නා අති මහත් සංස්කෘතික බැඳීම් සෑම විටම අපගේ මිත්‍රත්වය ශක්තිමත් කරයි. තවද අපගේ ජාතීන් දෙක අද ආසියාවේ  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රජයන ප්‍රමුඛතම රටවල් වේ.

අපගේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු පුරවැසියන්ගේ යහපැවැත්ම, ප්‍රගතිය සහ ඔවුනට අවස්ථාවන් සලසා දීම වෙනුවෙන් තමන් කැපවී සිටින බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරයේ ප්‍රකාශ කොට ඇත.

අපගේ සාකච්ඡාවල දී, ආර්ථික, මූල්‍ය කටයුතු, වෙළඳ, වාණිජ, ආරක්ෂක, ධීවර, සංස්කෘතික යන අංශවල හා විශේෂයෙන් දැනට පවත්නා කොවිඩ්-19 වසංගතය, ඉදිරියේ දී අප ගමන් කරනු ලබන පශ්චාත් කොව්ඩ් සමය සහ පසුගිය වසරේ දී සිදුවූ එහි ව්‍යාප්තියෙහි සිට අප ඒකාබද්ධව ගත් උත්සාහයන් ඇතුළුව, අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ හඳුනාගන්නා ලද විවිධ අංශ කෙරෙහි අපි අවධානය යොමු කළෙමු.  කොවිඩ් වසංගතයේ අහිතකර බලපෑම අවම කිරීම සඳහා පසුගිය මාස කිහිපය තුළ දී ඉන්දියාව ලබා දුන් දැවැන්ත සහයෝගය වෙනුවෙන්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාට, ඉන්දීය රජයට සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඔබතුමාට අපගේ කෘතඥතාව පළ කරමු.

ඉන්දියානු රජයේ “අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය” ප්‍රතිපත්තිය මඟින්, මෙම පෙර නොවූ විරූ අර්බුදයේ තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ දී අපගේ සෞඛ්‍ය අංශය හා ආර්ථිකය සඳහා විශාල ධනාත්මක බලපෑමක් ඇති කළ අතර, ශ්‍රී ලාංකිකයන්, වන්දනාකරුවන්, ශිෂ්‍යයන් සහ වෛද්‍යමය හේතු මත සැලකිලිමත් විය යුත්තන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආධාර ලබා දෙන ලදී.

අපගේ නියෝජිත පිරිස, අපගේ ආර්ථිකයේ විවිධ අංශවල වැඩි දියුණු කළ ආයෝජන තුළින් අපගේ ආර්ථික පුනර්ජීවනය සහ ස්ථාවරත්වය සඳහා ඉන්දියාවේ හවුල්කාරිත්වය අපේක්ෂා කළහ. ඇත්ත වශයෙන්ම, සමීප අසල්වැසියන් ලෙස සහ ඉන්දියන් සාගරයේ වෙරළාසන්න රාජ්‍යයන් වන අපි, ආරක්ෂක හා සුරක්ෂිතභාවය සම්බන්ධ කරුණු මෙන්ම සමුද්‍රීය හා ධීවර අංශයට අදාළ කරුණු පිළිබඳව ද සාකච්ඡා කළෙමු.

නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා මෙම ක්ෂේත්‍රයන්හි අපගේ වර්තමාන සම්බන්ධීකරණයේ හා සමීප සංවාදයේ ජවය සහ බිම්ස්ටෙක් (BIMSTEC), අයෝරා (IORA) සහ සාර්ක් (SAARC) සංසදවල අපගේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි එකඟ වූයෙමු.

දැනුම හා තාක්‍ෂණය ගෝලීය පැවැත්මේ විශාල සාධක බවට පත්ව ඇති මෙවන් මොහොතක, අපගේ ජාතීන්ගේ තරුණ තරුණියන් නිසැකවම යහපත් හෙට දිනක් කරා අපව රැගෙන යනු ඇත.

අපගේ ආර්ථිකයන් මෙහෙයවීම සඳහා සූර්යය හා සුළං වැනි පිරිසිදු පුනර්ජනනීය බලශක්තීන් උපයෝගී කර ගැනීම සඳහා අපි සමීපව කටයුතු කරන විට, පරිසරය පොහොසත් කිරීම පිළිබඳ අපගේ සාමූහික චින්තනය ගෝලීය දේශගුණයට එරෙහිව සටන් කිරීම සඳහා විශාල වශයෙන් ධනාත්මක ලෙස දායක වනු ඇත.

හරිත ආර්ථිකය, අපගේ වටපිටාව විසින් ස්වභාවයෙන්ම පරිත්‍යාග කරන ලද විශාල නිල් ආර්ථිකයෙන් ශක්තිමත් කරනු ලබයි. මෙම ක්ෂේත්‍රය තුළ අපගේ අඛණ්ඩ සංවාදය තුළින් අනාගත වැඩපිළිවෙල ශක්තිමත් කෙරෙනු ඇත.

බෞද්ධ උරුමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් ලබා දෙන බවට පසුගිය සැප්තැම්බර් මස ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සමඟ පැවති අන්තර්ජාල ද්වීපාර්ශ්වික සමුළුවේ දී ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලද අතර, එය අන්‍යෝන්‍ය උපදේශන මගින් උපයෝගී කර ගනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 11 කට අධික මුදලක් වැය කරමින් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳව මම ඉන්දියාවට ස්තූතිවන්ත වන අතර, නියමිත දිනය පිළිබඳව එකඟ වූ පසු එය විවෘත කෙරෙනු ඇත.

ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමා අද උදෑසන අතිගරු ජනාධිපතිතුමා හමුවී ඵලදායී සාකච්ඡා පැවැත්වීය. එතුමා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට ද නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමාට නැවත වරක් ස්තූතිය පළ කිරීමට මා කැමති වන අතර, නව වසර තුළ දී එතුමාගේ සියලු ප්‍රයත්න සාර්ථක වන ලෙසට සහ එතුමා නිදුක් නීරෝගී වන්නට ප්‍රාර්ථනා කරමි.

ස්තුතියි!

.........................................

The full video can be viewed at: https: //m.youtube.com/watch?v=Ygwn1dgKiYA

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close