වොෂිංටන් හි තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

වොෂිංටන් හි තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

වොෂිංටන් ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්, වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙසැම්බර් 22 අඟහරුවාදා දින නත්තල් උත්සවය සැමරීය.

ගීතිකා කණ්ඩායම සමඟ එක්ව තානාපති කාර්යාලයේ දී පවත්වන ලද ප්‍රධාන වැඩසටහනට, සූම් තාක්ෂණය හරහා තමන්ගේ නිවෙස්වල සිට එක් එක් පවුල් මෙන්ම ආර්ලිංටන් හි හෝප් ප්‍රජා දේවස්ථානයේ සහ නිව්යෝක් හි කැල්වරි දේවස්ථානයේ සාමාජිකයින් ද එක් විය.

හෝප් ප්‍රජා දේවස්ථානයේ පූජ්‍ය ඩිලන්ත ආරච්චිලගේ පියතුමා විසින් පවත්වන ලද යාඥා මෙහෙයෙන් වැඩසටහන ආරම්භ විය.

නත්තලේ ඇති වැදගත්කම අවධාරණය කළ එතුමා, එය ජනවාර්ගික, ආගමික හා භූගෝලීය බාධක ඉක්මවා යමින් සාමය, සමගිය සහ එකමුතුකම තුළින් සියල්ලන් එකට එක් කරන බවත්, මෙම කරදරකාරී කාලවල දී එය වැඩි වටිනාකමකින් යුත් බවත් පැවසීය. කොවිඩ් වසංගතය මඟින් ඇති කරන ලද දුෂ්කරතා නොතකා, නත්තල් උත්සවය සැමරීම සඳහා ප්‍රජාව එක් කිරීමට තානාපති කාර්යාලය දැරූ උත්සාහය එතුමා අගය කළේය. දිලන්ත පියතුමා ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ වරප්‍රසාදය ඉල්ලා සිටි අතර, රංජන් සිරිවර්ධන පියතුමා ශුද්ධ බයිබලයෙන් පාඨයක් කියවා ප්‍රජාවට ආශීර්වාද කළේය.

තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා සිය අදහස් දැක්වීමේ දී, නත්තල සහ අලුත් අවුරුද්ද සඳහා සුබ පැතුම් එක් කරමින්, දුෂ්කර තත්ත්වයන් මධ්‍යයයේ වුවද නත්තල් උත්සවය සැමරීම සහතික කිරීම සඳහා තානාපති කාර්යාලය වෙත ලැබුණු සහයෝගය අගය කළේ ය. මෙවැනි උත්සව, ශ්‍රී ලංකාවේ විවිධත්වය හා බහු-ආගමික ස්වභාවය පිළිගැනීමට අමතරව, විශේෂයෙන් තරුණ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මව්බිමේ පොහොසත් සංස්කෘතික භාවිතයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා ඉවහල් වන බව එතුමා පැවසීය. ඉදිරියේ දී තෛපොංගල්, වෙසක් සහ රාමදාන් සැමරීම සඳහා ද මෙවැනිම උත්සව පවත්වන බවට එතුමා පොරොන්දු විය. නත්තල දයානුකම්පාවේ සහ පරිත්‍යාගයේ කලාව අවධාරණය කරන බව පැවසූ තානාපතිවරයා, මේ වසරේ දී ඔවුන්ගේ නත්තල් මේසයේ හිස් පුටුවක් තබා ඇති බොහෝ පවුල් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බව, සෑම දෙනාගේම සිත් තුළ තබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

තානාපති කාර්යාලයේ ගීතිකා කණ්ඩායම විසින් නත්තල් බැති ගී ගායනා කරන ලද අතර, එයට ඇතුළත් වූ ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර නත්තල් ගීත ද සැම දෙනාම ප්‍රිය කළහ. එංගලන්තයේ අංජලිකා සිල්වා මහත්මිය විසින් ඉංග්‍රීසි බසින් විශේෂ ඒකල ගායනයක් සහ නිව්යෝර්ක් හි කැල්වරි දේවස්ථානයේ හෙප්සිබා මහත්මිය දෙමළ බසින් ගීයක් ඉදිරිපත් කරමින්, සැබෑ නත්තල් වාතාවරණය යළි පුබුදුවාලූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂිංටන්

 

2020 දෙසැම්බර් 30 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close