කොවිඩ්-19 ලොවින් තුරන් කරන්නට බුදුන් උපන් බිමේදී මහ පහන් පූජාවක්

කොවිඩ්-19 ලොවින් තුරන් කරන්නට බුදුන් උපන් බිමේදී මහ පහන් පූජාවක්

ලොව පුරා පැතිර ඇති කොවිඩ්-19 වසංගතයෙන් ලොව ජනතාව ආරක්ෂා වී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් නේපාලයේ ලුම්බිණි මායා විහාරයේදි මහ පහන් පූජාවක් පැවැත්විණ. නේපාලයේ තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ වාර්ෂික කඨින පූජා මහෝත්සවයට සමගාමිව මෙම පහන් පූජා පිංකම පැවැත්විණ.

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්, නේපාලයේ ලූම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම මත, නොවැම්බර් මස 15 වන දින ඉරිදා මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණ.

15 වන ඉරිදා උදෑසන ලුම්බිණි රාජකීය විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කඨින චීවරය මායා දේවී විහාරස්ථානයට වැඩම කරවා වන්දනා කොට අනතුරුව පෙරහැරින් ශ්‍රි ලංකා මහා විහාරයට වැඩම කරවන ලදී.

එදින දහවල් ලුමබිණි හි ස්ථාපිත සියලුම විහාර නියෝජනය කරන අයුරින් වැඩමවා වදාළ මහා සංඝ රත්නය උදෙසා දහවල් දානය හා අෂ්ඨ පරිෂ්කාර පිළිගන්වා, කඨින චීවරය මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීමෙන් පසු පිංකම නිමාවට පත් විය.

තානාපති කාර්යාලයේ ප්‍රධාන දායකත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට සාර්ක් මහ ලේකම් කාර්යාලය ඇතළු ශ්‍රී ලංකා සහ නේපාල බැතිමතුන් විශාල පිරිසකගෙන් ලැබුණු  දායකත්වය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

කොරෝනා වසංගතය හේතුවෙන් විශාල පිරිසකට සහභාගි විය නොහැකි වුවද, නේපාලයේ ශ්‍රි ලංකා තානාපතිනි හිමාලි අරුණතිලක, සාර්ක් මහ ලේකම් ඇසළ වීරකෝන් ඇතළු තානාපති කාර්යාල නිළධාරීන්, සාර්ක් මහ ලේකම් කාර්යාල නිළධාරීන් සහ ලුම්බිණි හි පිහිටි ශ්‍රි ලංකා දුටු ගැමුණු විශ්‍රාම ශාලාවේ නිලධාරීන්ගේද දායකත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය විචිත්‍ර වූ අතර නේපාලයේ දැනට අධ්‍යපනය ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් අසේල යාපා මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය

කත්මන්ඩු

 

2020 නොවැම්බර් 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close