සැප්තැම්බර් 26 වැනි දින අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අතර පැවැත්වෙන අතථ්‍ය (Virtual) සමුළුව

සැප්තැම්බර් 26 වැනි දින අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අතර පැවැත්වෙන අතථ්‍ය (Virtual) සමුළුව

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුවක් 2020 සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

2020 අගෝස්තු 06 වැනි දින අභිනවයෙන් පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ මූලිකත්වයෙන්, මෙම නායකයන් දෙපළම නියමිත අතථ්‍ය සමුළුව හරහා බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සමාලෝචනය කිරීම සඳහා එකඟ වූහ.

මෙම සමුළු මට්ටමේ අන්තර්ක්‍රියාකාරිත්වයේ දී අනෙකුත් කරුණු අතර, දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය හා ආරක්ෂක යන අංශ, අධ්‍යාපනික, සංචාරක හා සංස්කෘතික කටයුතු මෙන්ම, අන්‍යෝන්‍ය  වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවල දී ද්විපාර්ශ්වික මැදිහත්වීම් යනාදී සම්පූර්ණ පරාසයෙහි කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

දෙරටේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුවේදී සිය නායකයින් සමඟ එක්වනු ඇත.

පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශ රටක නායකයෙකු සමඟ පවත්වනු ලබන පළමු අතථ්‍ය සමුළු මට්ටමේ අන්තර්ක්‍රියාව මෙය වේ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close