ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළමුවැනි වරට ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන ඕමානය වෙත අපනයනය කිරීම ආරම්භ කරයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළමුවැනි වරට ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන ඕමානය වෙත අපනයනය කිරීම ආරම්භ කරයි

DSC_0058

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඕමාන සුල්තාන් රාජ්‍යය වෙත ප්‍රථම වරට ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පුද්.) සමාගම විසින් අපනයනය කරන ලද ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුල් මස් තොගයේ පළමු මෙට්‍රික් ටොන් 30 ක තොගය, ඕමානයේ විශාලතම ශීත කළ මස් ආනයන කරුවෙකු වන අල් හමාඩි ට්‍රේඩිං ඇන්ඩ් කොන්ට් එල්එල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆ්ලින් එම්.වී. ඩි ලීමා මහතා වෙත භාර දෙමින්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා මෙසේ පැවසීය. “ගල්ෆ් සහයෝගිතා මණ්ඩල (GCC) කලාපයේ පළමු වරට නව ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනයක් සඳහා නව වෙළඳපොළක් විවෘත කෙරෙමින් පවතී. එය විශාල ඉදිරි පිම්මකි.”

ෆ්ලින් එම්.වී. ඩි ලීමා මහතා මෙසේ පැවසීය: “මෙම කලාපයේ ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදන සඳහා විශාල අවස්ථාවක් පවතින අතර, මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කලාපයට අපනයනය කිරීම පිළිබඳ නව පරිච්ඡේදයක් විවෘත කර තිබේ”. බීපීඕඑස් ග්ලෝබල් එල්එල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්සල්ම් පෙරේරා මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදනයක් මෙතරම් විශාල ප්‍රමාණයකින් වාණිජමය වශයෙන් ජීසීසී වෙළඳපොළට ඇතුළු වූයේ ඉතිහාසයේ පළමුවැනි වරටය.”

විදේශ සබඳතා අමාත්‍යාංශයේ “ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන” යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ සහයෝගයෙන් යුතුව 2019 ඔක්තෝබර් 1 වැනි දින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මස්කට් නුවර දී සංවිධානය කරන ලද අඛණ්ඩ රැස්වීම්වලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර අපනයන සමාගමක් වන ෆාම්ස් ප්‍රයිඩ් ලිමිටඩ්, අල් හමාඩි ට්‍රේඩිං ඇන්ඩ් කොන්ට් එල්එල්සී සමාගම සමඟ ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගෙන තිබේ. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය, අවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිට සුල්තාන් රාජ්‍යයට කුකුළු නිෂ්පාදන ආනයනය කිරීමේ බලපත්‍රය නිකුත් කළේය. බීපීඕඑස් ග්ලෝබල් එල්එල්සී සමාගම, ෆාම්ස් ප්‍රයිඩ් (පුද්ගලික) සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන පළමු වරට ඕමානයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම පිළිබඳව තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශයට සිය අවංක ප්‍රශංසාව පළ කළේය. කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ මෙම අභියෝගාත්මක කාසීමාව තුළ මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා දරන ලද උත්සාහය වෙනුවෙන් ෆාම්ස් ප්‍රයිඩ් ලිමිටඩ්, අල් හමාඩි ට්‍රේඩිං ඇන්ඩ් කොන්ට් එල්එල්සී සහ බීපීඕඑස් ග්ලෝබල් එල්එල්සී සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරුන් හට ප්‍රශංසා කළේය.

මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති මෙම ආනයන සමාගම වෙත අපනයන ලේඛන භාරදීමේ අවස්ථාවට, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්ලිව්.ඩී.එන්.එම්. අබේසේකර මහතා සහ බීපීඕඑස් ග්ලෝබල් එල්එල්සී හි ප්‍රධාන විධායක ඇන්සල්ම් පෙරේරා මහතා ද තානාපතිවරයා සමඟ සම්බන්ධ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්
2020 ජුනි 10 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close