මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වෙති

මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වෙති

ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පෙර නොවූ විරූ මෙම කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ ජාත්‍යන්තර තත්ත්වය තුළ දී ශ්‍රී ලාංකික ජනතාව සහ ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් සහය සහ සහයෝගීතාවය පිළිබඳව එම තානාපතිවරුන් මඟින් එම මැදපෙරදිග රටවල රජයන් වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාවට, සෞදි අරාබියේ තානාපති අබ්දුල්නාසර් එච්. අල් හර්ති මැතිතුමා, කුවේටයේ තානාපති කලාෆ් එම්. බු ධෙයාර් මැතිතුමා, ඊජිප්තුවේ තානාපති හුසේන් එල් සහාර්ටි මැතිතුමා, පලස්තීන රාජ්‍යයේ තානාපති සුහයර් හම්දල්ලා සෙයිද් මැතිතුමා යන තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගී වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හුමයිඩ් අල් තමීමි, කටාර්හි හමාඩ් අල් බුවෙයිනන් හා ඉරාකයේ කුටෙයිබා අහමඩ් අල්කෙරෝ යන වැඩබලන තානාපතිවරු ද ලිබියාවේ අමාත්‍ය අමර් ඒ. එම්. මුෆ්තා මැතිතුමා ද ඒ සමඟ එක්වූහ.

මැදපෙරදිග ජීවත් වන හා සේවය කරන විශාලතම විදේශගත ප්‍රජාව ලෙස, එම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අගය කිරීමට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මෙහි දී අවස්ථාව සලසා ගත්තේය. එම කලාපයෙන් ආපසු පැමිණෙන අය ක්‍රමානුකූල ආකාරයකට ගෙන ඒම සඳහා රජය සැලසුම් කොට ඇති බව ද ඔහු පැවසීය.

එක් රජයකින් තවත් රජයක් වෙත ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් තුළින්, මෙම කලාපය සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා තවදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකා තේ සහ පළතුරු හා එළවළු වැනි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ මෙම සමාජ-ආර්ථික හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ඔහු සුබවාදීව අදහස් පළ කළේය.

නොබැඳි මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දිගටම කටයුතු කරන බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම්වලට සහ ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති අයිතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය ලබා දී ඇති බව ඔහු සිහිපත් කළේය. පලස්තීන ජනතාවගේ ආරක්ෂාව හා යහපැවැත්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම අඩු නොවී පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

මැදපෙරදිග කලාපය විසින් ලබා දී ඇති සෞදි සංවර්ධන අරමුදල, කුවේට් අරමුදල හා අරමුදල් සපයන වෙනත් නියෝජිතායතන වෙතින් පිරිනැමෙන සංවර්ධන ආධාර පිළිබඳව ස්තූතිවන්ත වන අතර, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අනාගතයේ දීද එවැනි සංවර්ධන ආධාර පිළිගන්නා බව පැවසීය. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද, ශ්‍රී ලාංකිකයන් සුමට ලෙස ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කළේය.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළ පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති සුහයර් හම්දල්ලා සයිද් මැතිතුමා, මැදපෙරදිග හා ශ්‍රී ලංකාව අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව ද සිහිපත් කළේය.

මෙම සාකච්ඡාවට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සමඟ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 ජුනි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close