නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනනය එකඟ වේ

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනනය එකඟ වේ

Image

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුකූලව, තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය  2020 ජුනි මස 01වන දින එරට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලෙබනන් කම්කරු අමාත්‍යවරිය වන ලැමියා යම්මින් මහත්මිය සමඟ සාකච්ඡා පැවැත්වීය.

COVID-19 ව්‍යාප්තිය සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්, ලෙබනනයේ ආර්ථික අර්බුදය, ලේඛන රහිත ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා විරහිත බව, නොගෙවූ වැටුප් සහ සංක්‍රමණික සේවකයින්ගේ සෞඛ්‍ය ගැටලු යනාදිය එහිදී සාකච්ඡා කරන ලදි. ලෙබනනය පුරා විහිදී සිටින ආහාර සලාක අත්‍යවශ්‍යම ශ්‍රී ලාංකිකයන් සදහා ඒවා බෙදා දෙමින් එම ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා තානාපති කාර්යාලය ගෙන ඇති තාවකාලික ක්‍රියාමාර්ග පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කරන ලදි.

ආපසු පැමිණෙන්න් සූදානම් කිරීමට තානාපති කාර්යාලයට හැකි වන පරිදි PCR පරීක්ෂණය නොමිලේ සිදු කිරීමට  තානාපතිවරිය විසින් ලෙබනනයේ සහාය ඉල්ලා සිටින ලදී. එහිදී පිටවීමේ වීසා බලපත්‍ර සඳහා අනුමැතිය ලබා ගැනීමට දැනටමත් ආරක්ෂක මණ්ඩලය වෙත (ආගමන විගමන දෙපාර්තමේන්තුවට) ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ගේ ලැයිස්තුවක් අමාත්‍යවරිය ඉල්ලා සිටි අතර තානාපතිවරිය විසින් දඬුවම්වලට යටත්ව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් එම දඩුවම්වලින්  නිදහස් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ මැදිහත්වීම ද ඉල්ලා සිටියාය.  මෙම ඉල්ලීම් පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරිය එකඟ වූ අතර තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා පවත්වාගෙන යනු ලබන දුරකථන සේවාව පිළිබඳව ද විමසීය. එසේම මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සදහා ලෙබනන් කම්කරු අමාත්‍යාංශය හා සම්බන්ධ වීමේ හැකියාව ඇති බව ද ඇය එහිදී පැවසුවාය.

පසුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ඔවුන් ආපසු පැමිණෙන්නේ නම් එක් පුද්ගලයෙකු සඳහා PCR පරීක්ෂණ ගාස්තු ලෙස ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් 100ක ගාස්තුව වෙනුවට ඇමරිකානු ඩොලර් 20ක පමණ සුළු ගාස්තුවකට PCR පරීක්ෂණ සිදු කිරීමට හැකි බව එරට කම්කරු අමාත්‍යාංශය විසින් එදිනම තානාපති කාර්යාලයට දන්වා සිටි අතර 2020 ජුනි 4 වන දින කැබිනට් තීරණ නිවේදනය කිරීමේදී ලෙබනනය විසින් ඇමරිකානු ඩොලර් 20 ක ගාස්තුවෙන් ද නිදහස් කරන බව නිවේදනය කරන ලද අතර තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි එය නොමිලේ සිදු කිරීමට මේ අනුව කටයුතු යොදා ඇත. නැවත පැමිණෙන පුද්ගලයින්ගේ ලැයිස්තුවේ සංඛ්‍යාව වැඩිවෙත්ම, ලෙබනන් රජයේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු ආර්ථික වාසියක් හිමිව ඇත.

තානාපතිවරිය සහ අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වන ශ්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ ඒකාබද්ධ කොන්ත්‍රාත්තු, අවම වැටුප සහ කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳව ද සාකච්ඡා කළහ. තානාපති කාර්යාලයේ උපදේශක (නැගෙනහිර හා බටහිර) පී. කේ. හෙට්ටියාරච්චි සහ එරට කම්කරු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඩෙනිස් ඩහ්රූජ්  ද මෙම රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීරූට්
2020 ජුනි මස 05 දා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close