සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

IMG_8195

සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ තොගය, කොළඹ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මැතිතුමා විසින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත අද දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී සංකේතාත්මකව භාරදෙන ලදී.

2020 මැයි 8 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ ඉන්දියානු ගුවන් යානයකින් ගෙන එන ලද ඖෂධ සහ උපකරණ ටොන් 12.5 කින් පමණ සමන්විත මෙම භාණ්ඩ තොගය, කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීමට අසල්වැසි සහ හවුල්කාර රටවලට සහාය වීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කටයුතු කිරීම සනිටුහන් කරයි.

මෙම සංකේතාත්මක භාණ්ඩ භාරදීමේ කටයුත්තෙන් අනතුරුව, දේශපාලනය, වෙළඳ, සංචාරක, සෞඛ්‍ය සහ කලාපීය කටයුතු යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කිරීම පිණිස වූ කෙටි රැස්වීමක් සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍යවරයා බැහැදැකීය.

වර්තමාන පොදු අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ දී පරිත්‍යාග ලෙස වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් බෙදාහදා ගනිමින් ඉන්දියාව දක්වන අඛණ්ඩ අනුග්‍රහය විදේශ සබඳතා අමාත්‍යවරයා අගය කළේය. ජාතික වශයෙන් අගුලු දමා තිබීම අතරතුර දී ඉන්දියාවේ සිටි ශ්‍රී  ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කළේය.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 මැයි 11 වැනි දින

IMG_8223
Print Friendly, PDF & Email
Please follow and like us:

Close