නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරයක

නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරයක

 DSC_7609

නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි  වෝල් මහතා 2019 ජූලි 18 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙමින් බ්‍රහස්පතින්දා (ජූලි 18) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා බැහැදැකීය.

මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරමින් සහ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් නව මාවතකට අවතීර්ණ වූ වත්මන් රජය යටතේ මහජනතාවට නිදහසේ ඇසුරු කිරීමට සහ සාමකාමීව එක්රැස්වීමට ඇති අයිතිය සහතික කරන බව විදේශ අමාත්‍ය මාරපන මහතා ප්‍රකාශ කළේය. හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුණ ද, නිදහසේ ඇසුරු කිරීමට සහ සාමකාමීව රැස්වීමට ඇති  අයිතිය සීමා කර නොමැති බවත්, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව රට තුළ විරෝධතා / වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් දක්නට ලැබුණු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

අපේ‍්‍රල් මාසයේ දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විශේෂ වාර්තාකරු සිය කණගාටුව පළ කළ අතර, මෙම සිදුවීම්වලින් අනතුරුව රට යථා තත්ත්වයට පත් කිරීමට සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට රටට හැකිවීම පිළිබඳව අගය කළේය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ රජයේ නිලධාරී පාර්ශ්වකරුවන්ගේ රැස්වීමකට විශේෂ වාර්තාකරුගේ කණ්ඩායම සහභාගී විය. විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළු රජයේ නියෝජිතායතනවල නියෝජිතවරු මෙම රැස්වීමට සහභාගී වූහ.

දුෂ්කර කාලසීමාව අතරතුර දී පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කර ඇති බව විදේශ ලේකම්වරයා අවධාරණය කළේය. අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ විශේෂ වාර්තාකරු සම්බන්ධවීමේ ඇති වැදගත්කම පිළිබඳව සඳහන් කළ විදේශ ලේකම්වරයා, නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ හා සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවත්නා අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර පිළිබඳව තුලනාත්මක දැක්මක් ඇති කර ගැනීමට එමඟින් ඔහුට හැකි වන බව තවදුරටත් සඳහන් කළේය.විශේෂ වාර්තාකරු, කොළඹ සහ උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක සංචාරය කරනු ඇත. ඔහුගේ මෙම සංචාරය අතරතුර දී රජයේ නිලධාරීන්, සිවිල් සමාජයේ සහ වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද හමුවීමට නියමිතය. ඔහු එක්සත් ජාතීන්ගේ පද්ධතියේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතවරුන් මෙන්ම රටේ අනෙකුත් පාර්ශ්වකරුවන් ද හමුවීමට නියමිතය. මෙම සංචාරය අවසානයේ දී, 2019 ජූලි 26 වැනි දින රජයේ පාර්ශ්වකරුවන්ගෙන් කරුණු විමසීමේ රැස්වීමක් පවත්වනු ඇත. ඉන් අනතුරුව, ජූලි 26 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වනු ලබන අතර, එහි දී විශේෂ වාර්තාකරුගේ මූලික සොයා ගැනීම් පිළිබඳව මාධ්‍ය සමඟ සාකච්ඡා කරනු ඇත. මෙම සංචාරයෙන් අනතුරුව, 2020 ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත 44 වැනි මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාරයේ වාර්තාව විශේෂ වාර්තාකරු විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.2015 දී එක්සත් ජාතීන්ගේ සියලු තේමාත්මක විශේෂ ක්‍රියා පටිපාටි පිළිබඳ බලය දරන්නන් වෙත කරන ලද ස්ථාවර ආරාධනයට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා රජය විසින් විශේෂ වාර්තාකරු වෙත කරනු ලැබූ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවේ. එතැන් සිට, ශ්‍රී ලංකාවට විශේෂ ක්‍රියා පටිපාටි පිළිබඳ බලය දරන්නන් 08 දෙනකු පැමිණ ඇති අතර, වධහිංසා පැමිණවීම වැළැක්වීමේ උප කමිටුව 2019 අප්‍රේල් 2 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරයට අමතරව, මේ වසරේ දී ශ්‍රී ලංකාවට තවත් විශේෂ ක්‍රියා පටිපාටි පිළිබඳ බලය දරන්නන් දෙදෙනකු පැමිණෙනු ඇති අතර, අගෝස්තු 15 සිට 24 දක්වා ආගමේ හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ද, ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 8 දක්වා ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවයේ අනන්‍යතාව පිළිබඳ ස්වාධීන විශේෂඥවරයා ද පැමිණීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ජූලි 18 වැනි දින

DSC_7680

Print Friendly, PDF & Email
Please follow and like us:

Close