ශ්‍රි ලංකාව සහ කියුබාව අතර වසර  60ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරේ 

ශ්‍රි ලංකාව සහ කියුබාව අතර වසර  60ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරේ 

Image 01

ශ්‍රී ලංකාව හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කරීමේ හැට වැනි සංවත්සරයට සමගාමීව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2019 ජූනි මස 25-29 යන දිනවල කියුබාවේ නිල සංචාරයක නිරත විය.

රාජ්‍ය අමාත්‍යවරයා කියුබාවේ පළමු විදේශ කටයුතු අමාත්‍ය මර්සෙලිනෝ මෙඩීනා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී වඩාත් ශක්තිමත් ආංශික සහයෝගීතාව සඳහා ප්‍රමුඛතා අංශ හඳුනා ගනිමින් අන්‍යොන්‍ය අභිලාෂයන් සහිත කරුණු පිළිබඳ සාකච්ඡා කළහ. අන්‍යොන්‍ය ගෞරවය හා අවබෝධය මගින් වසර ගණනාවක් තිස්සේ ද්විපාර්ශ්වික ක්ෂේත්‍රයේ සුවිශේෂ ගුණාත්මක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවට දෙපාර්ශ්වයම එකඟ විය.

ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනය සහ කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රාවුල් රාඕ ගාර්ෂියා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් මෙම ද්විපාර්ශ්වික හමුවේදී අත්සන් කෙරිණි. මෙම අවබෝධතා ගිවිසුම මගින් ආයතන දෙක අතර අධ්‍යයන හා ශාස්ත්‍රීය සහයෝගීතාව සහ පර්යේෂණ කටයුතු සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

වසර 81 කට පසු ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුවට මේ වසරේ ජනවාරි 27 වැනි දින කියුබාව මුහුණ දුන් අතර එමඟින් බරපතල ලෙස හානි වූ හවානා නුවර රෙග්ලා සහ 10 ඔක්තබ්‍රේ මහ නගර සභා ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා, කියුබාවේ රජයට සහ ජනතාවට සහයෝගීතාව දැක්වීමේ සංකේතයක් ලෙස ඇමරිකානු ඩොලර් 50,000 ක පරිත්‍යාගයක් රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා විසින් කරනු ලැබිණි. කියුබානු රජය විසින් මෙම පරිත්‍යාගය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ සහයෝගීතාවේ හා මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම්වල ලකුණක් ලෙසය.

හානියට පත් ප්‍රදේශවල පොල් වගාව නඟා සිටුවීම සඳහා වූ දෙමුහුන් ප්‍රභේදයේ පොල් බීජ 200 ක් කියුබාවට පරිත්‍යාග කිරීමටද මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව පොරොන්දු විය.

මෙම සංචාරයේදී දෙරට අතර වෙ‍ළෙඳ හා වාණිජ සබඳතා ඉහළ නැංවීම සඳහා ගතහැකි සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා, විදේශ වෙ‍ළෙඳ හා විදේශ ආයෝජන පළමු නියෝජ්‍ය අමාත්‍ය අන්තෝනියෝ කැරිකාර්ත් කොරෝනා මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. 1959 අගෝස්තු 8 වැනි දින චේ ගුවේරා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර චේ ගුවේරා සහ ආර්.ජී. සේනානායක යන මහත්වරුන් අතර අත්සන් කරන ලද පළමු වෙළෙඳ හා ගෙවීම් ගිවිසුම, රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා සිහිපත් කළේය.

ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සමඟ හවානා වාණිජ මණ්ඩලයේ පැවති වට මේස සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා නව නිෂ්පාදන සඳහා කියුබානු වෙ‍ළෙඳපොළ ප්‍රවණතා ගවේෂණය කිරීමේ හා හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. කියුබාවේ විශාලතම බහුආංශික වේදිකාව වන FIHAV වෙ‍ළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගී වනු ඇත. එය 2019 නොවැම්බර් පළමු සතියේ හවානා නුවරදී පැවැත්වීමට නියමිතය.

කියුබානු ජාතික සමුළුව වෙත කළ සංචාරයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා මහජන බලය පිළිබඳ ජාතික සමුළුවෙහි  ජාත්‍යන්තර සම්බන්ධතා කොමිෂන් සභාවේ සභාපතිනි යොලන්ඩා ෆෙරර් ගෝමස් මහත්මිය බැහැ දුටුවේය.

 ශ්‍රී ලංකා-කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සන්දර්භය තුළ දෙරටෙහි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළේය. ජාතික සමුළුවට සිදු කළ සංචාරයට පෙරාතුව, රාජ්‍ය අමාත්‍යවරයා කියුබානු ජාතික වීරයා වන හොසේ මාටිගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීය.

1959 පෙබරවාරි කියුබානු විප්ලවය අවසන් වූ විගස කියුබානු රජයේ නීත්‍යානුකූලභාවය හා සුජාතභාවය පිළිගත් ප්‍රථම ආසියානු රට වූයේ ශ්‍රී ලංකාවයිකියුබානු ජනතා මිත්‍රත්ව ආයතනය (ICAPP) විසින් සංවිධානය කරන ලද සමරු උත්සවයේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ භූගෝලීය දුරස්ථබව සහ භාෂාව නිසා වෙන්වුවද දෙරට අතර ශක්තිමත් පොදු ඓතිහාසික සබඳතා ඇති බවය. කියුබාවේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ සිට 80 දශකයේ මුල් භාගයේදී ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණි කියුබානු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් ඇතුළුව කියුබාවේ මිත්‍රත්වය හා ත්‍යාගශීලී භාවය ශ්‍රී ලාංකිකයෝ විසින් අත්දකිනු ලැබීම රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේ ය. ICAPP උත්සවයට සමගාමීව රාජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය අනයන්සි රොඩ්‍රිගුවේස් සහ ICAPP හි සභාපති ෆර්නැන්දෝ ගොන්සාලෙස් යර්ට් සමඟ සාකච්ඡා පැවැත්වීය. හවානා නුවර ජාන ඉංජිනේරු හා ජෛව තාක්‍ෂණ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වෙත අනුග්‍රහය ලබා ගැනීම මූලික කරගනිමින් සාකච්ඡා පැවැත්වීය. අධ්‍යක්ෂ ජනරාල් ලුයිස් හෙරේරා මාර්තිනස් මහතා විවිධ රෝග මර්දනය සඳහා තාක්‍ෂණය හුවමාරු කර ගැනීම මඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සහය වීමට දැඩි උනන්දුවක් දැක්වීය.ජුනි 28 වැනි දින සන්තා ක්ලාරා වෙත සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා දෙරට අතර පවතින මුල් බැසගත් හා සදාකාලික සබඳතා සංකේතවත් කිරීම පිණිස චේ ස්මාරකය අභියස පැලයක් රෝපණය කළේය. 1959 අගෝස්තු මාසයේදී, චේ ගුවේරා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, හොරණ යහලකැලේ වතුයායේ චේ විසින් මැහෝගනී ගසක් රෝපණය කරන ලදී.28 වැනි දින සවස, ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ග්‍රාන් මන්සානා කෙම්පින්ස්කි හෝටලයේදී සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ආහාර උත්සවය රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා විවෘත කළේය. කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ඒ. එල්. රත්නපාල සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශානිකා දිසානායක යන මහත්ම මහත්මීහුද මෙම  නිල සංචාරයට සහ සාකච්ඡාවලට එක් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
29 ජූනි 2019

Image 02

Image 03

Image 04

Image 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close