උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ නාමයෝජනා අනුමත කරයි

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ නාමයෝජනා අනුමත කරයි

රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන/ නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ පත්වීම් 2019 මාර්තු 27 වැනි දින අනුමත කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමුවැනි ශ්‍රේණියට අයත් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දහහතර දෙනා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීමට නියමිතය:

කේ.ඩී. සෙනෙවිරත්න මහත්මිය, නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, රොඩ්නි එම්. පෙරේරා මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති, ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය, බෙල්ජියමේ හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි , ඒ.එස්. නාකන්දල මහතා, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය සඳහා වූ නිත්‍ය නියෝජිත, වයි.කේ. ගුණසේකර මහත්මිය, ඉන්දුනීසියාවේ  ශ්‍රී ලංකා තානාපතිනි, ජේ.ඒ.එස්.කේ. ජයසූරිය මහත්මිය, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි, ප්‍රදීපා සේරම් මහත්මිය, බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි, ශෝබිනී ගුණසේකර මහත්මිය, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි, සරෝජා සිරිසේන මහත්මිය, ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සහ ජාත්‍යන්තර පරමාණු ශක්ති නියෝජිතායතනය සඳහා වූ නිත්‍ය නියෝජිත, ඕ.එල්. අමීර්අජ්වාඩ් මහතා, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති, එම්.ජේ.පී. ජයසිංහ මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති, වරුණ විල්පාත මහතා, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති, සෂිකලා ප්‍රේමවර්ධන මෙනෙවිය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, සහ රිස්වි හසන් මහතා, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති.

මෙම පත්වීම් සමඟ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී තනතුර දරන වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රතිශතය 36.57% සිට 46% දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකාව විදේශයන්හි තානාපති කාර්යාල/මහකොමසාරිස් කාර්යාල 52 ක් පවත්වාගෙන යයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 මාර්තු 30 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close