යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති

යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති

ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ’ සාමාජිකයන් වන ජෙෆ්රි වෑන් ඕර්ඩන් සහ විලියම් ඩාර්ට්මත් (ඩාර්ට්මත්හි අර්ල්වර) යන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2019 ජනවාරි 2 -6 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

සිය පස් දින සංචාරය අතරතුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළ, රජයේ, විපක්ෂයේ, දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙන්ම වෙනත් නිලධාරීන් හමුවී පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූහ.  තවත් දෑද ඇතුළත්ව, ජීඑස්පී ප්ලස් සහනය, කලාපීය වශයෙන් වැදගත් කරුණු, පාලනය සහ නීතියේ ආධිපත්‍යය, සිවිල් සමාජය සම්බන්ධ කරුණු සහ මානව හිමිකම් ආදී යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගිතාවට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවකට අදාළ පොදු අභිලාෂයන් සහිත කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ වේදිකාවක් මෙම රැස්වීම් මඟින් නිර්මාණය කරන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් කොළඹදී හමුවූ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෑතකාලීන දේශපාලන ප්‍රවණතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙන්ම සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව ජීඑස්පී ප්ලස් සහනය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව ආදිය පිළිබඳ සාකච්ඡා කළහ.   ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කිරීමෙහිලා, විශේෂයෙන්ම ඔවුන් ශ්‍රී ලංකාව සමඟ සහසම්බන්ධ වී කටයුතු කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් වන නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමෙහිලා ලබා ඇති ප්‍රගතිය යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදයට ලක් විය.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් යන මහත්වරුන්ද හමුවූහ .

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වවුනියාවේ කළ සංචාරය අතරතුරදී වන්නි ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතා, යළි පදිංචි කරවීමේ ක්‍රියාකාරකම්වලට සහය ලබා දෙමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සපයනු ලබන ප්‍රධාන දායකත්වය පිළිබඳව ඔවුන් දැනුම්වත් කළේය. එම දායකත්වය යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැසසුමට ලක් විය. වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාද හමුවූ ඔවුහු, වවුනියාව, සීතාම්පිරපුරම්හි යළි පදිංචි කරවූ ගම්මානයක් නැරඹීමට ගොස් ප්‍රදේශයේ ජනතාව සමඟ විවෘත සංවාදයක නිරත වෙමින් සංහිඳියා ක්‍රියාදාමයේ ප්‍රගතිය විමසා බැලූහ.

ප්‍රදේශයේ රැකියා උත්පාදනයට, ජීවනෝපාය සංවර්ධනයට සහ ආර්ථික සවිබලගැන්වීමට දායකත්වය ලබාදෙමින්ද, ජීඑස්පී ප්ලස් සහනයෙන් කර්මාන්තයට ලබා දෙන ප්‍රතිලාභ ප්‍රදර්ශනය කරමින්ද MAS සමාගම විසින් කරනු ලබන නවීනතම තිරසර ඇඟලුම් නිෂ්පාදනය පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ අරමුණෙන් තුල්හිරියේ පිහිටි MAS රෙදිපිළි උද්‍යානය වෙතද සංචාරයක් සංවිධානය කරනු ලැබිණි. කලාපයේ භූ-දේශපාලන ප්‍රවණතා සහ  ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පිළිබඳව, ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ක්‍රියාකාරී සංවාදයක නිරත විය.

ශ්‍රී ලංකාවට සහය ලබාදීමේ යුරෝපා සංගම් ක්‍රියාදාමයට අනුපූරක වශයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායම 2006 වසරේදී එය පිහිට වූ තැන් පටන් යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටියි. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි වෑන් ඕර්ඩන් මහතා කණ්ඩායමේ ආරම්භයේ පටන් එහි සභාපතිත්වය දරා ඇත. ඩාර්ට්මත්හි අර්ල්වරයා 2012 දී කණ්ඩායමට එක් විය.

ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායම මීට පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2016 පෙබරවාරි මාසයේදී ය.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ජනවාරි 09 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close