විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරයක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරයක

 

StM-Aus

ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිනි ජූලි බිෂොප් මහත්මිය සමග ඇගේ කාර්යාලයේදී

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ඇරයුමෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, මාර්තු 26 වැනි දින ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය හමුවිය. පුද්ගල - පුද්ගල සබඳතා සහ වර්ධනය වන ආර්ථික සම්බන්ධතාවල සිට අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම දක්වා වන ද්විපාර්ශ්වික කරුණු මෙහිදී අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට බඳුන් විය. මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය පිළිබඳව ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිනිය සිය රජයේ ප්‍රශංසාව ශ්‍රී ලංකාව වෙත පළකර සිටියාය. 2017 ජුලි මස සිදුකළ අමාත්‍ය බිෂොප් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ප්‍රකාශයට පත්කරන ලද ඩෙංගු මර්ධන අධාර සහ ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන ලද දිගුකාලීන සංවර්ධන සහය පිළිබඳව අමාත්‍ය සේනානායක මහතා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැතිනියට සිය ස්තූතිය පළකර සිටියේය. දෙරටටම වැදගත්වන කලාපයේ දේශපාලන හා නාවික කටයුතු ආශ්‍රිත කරුණු හා ශ්‍රී ලංකාවේ පතල් හා බලශක්ති අංශවල ආයෝජනය කිරීමෙහිලා ඕස්ට්‍රේලියානු වෙළෙඳ සමාගම් දක්වන උනන්දුව පිළිබඳව අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ යළි ගොඩනැංවීම කෙරෙහි ඕස්ට්‍රේලියාව දක්වන උනන්දුව සැළකිල්ලට ගත් රාජ්‍ය අමාත්‍යවරයා රටෙහි මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව විස්තර කළ අතර මෙම කරුණු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සතු ප්‍රායෝගික ප්‍රවේශය සම්බන්ධයෙන් එරටට සිය ස්තූතිය පළකර සිටියේය.

රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා මෙහිදී ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කොන්සෙටා ෆිරවන්ති වෙල්ස් මහත්මියද මුණගැසුණු අතර ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානී ස්කොට් බච්හොල්ස් මහතාගේ සත්කාරකත්වයෙන් පාර්ලිමේන්තු මන්දිරයේ පවත්වන ලද දිවාභෝජන සංග්‍රහයකටද සහභාගී විය. වෙනත් වැඩසටහනක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියුතුව සිටි ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු බලමණ්ඩලයේ නියෝජිත පිරිස මෙන්ම ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙම දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූහ. රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා කැන්බරා නුවර විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, ඕස්ටේලියානු මැතිවරණ කොමසාරිස්වරයාද හමුවිය. තවද කැන්බරා නුවර පිහිටි ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයට ගිය අමාත්‍යවරයාට එහි පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍යත්ව ලාභීන් මුණගැසීමටද අවස්ථාව උදාවිය. රාජ්‍ය අමාත්‍යවරයා සිය ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයටද ගියේය.

අමාත්‍ය සේනානායක මහතා පර්ත් නුවරින් සිය සංචාරය අවසන් කළ අතර එහිදී, ආසියානු කටයුතු පිළිබඳ බටහිර ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයා මුණගැසිණි. ඉන්දියානු සාගර සමුද්‍රීය පර්යේෂණ ආයතනයටද ගිය ඒ මහතා පර්ත්හි යූඑස්ඒෂියා මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ විදේශ පර්යාලෝකය සහ කලාපීය සංවිධාන සමඟ වන සබඳතා පිළිබඳව දේශනයක් පැවැත්වීය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවලට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 අප්‍රේල් මස 02 වැනිදා

 

IMG_2870

IMG-4662

IMG-4675

Print Friendly, PDF & Email
Please follow and like us:

Close