ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ හා ඉන්දියාවේ සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ හා ඉන්දියාවේ සංචාරයක

 

ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 12 වැනි දින සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති සිරිසේන මහතා මාර්තු මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අබේ මහතා මුණගැසෙයි. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාජ්‍ය              රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.

ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝක්යෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකටද ජනාධිපති සිරිසේන මහතා සහභාගී වනු ඇත. මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවද මුණගැසීමට නියමිතය.

සිය ජපන් සංචාරයට පෙරාතුව, ජනාධිපති සිරිසේන මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන්, මාර්තු මස 11 වැනි දින නව දිල්ලියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජික රටවල ප්‍රථම සමුළුවට සහභාගීවීම සඳහා 2018 මාර්තු මස 10, 11 යන දෙදින තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

රාජ්‍ය නායකයන් හා ඉහළ පෙළේ නියෝජිතයන් තිස් දෙදෙනකුට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර සූර්ය සංධාන සමුළුවට සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාව 2018 පෙබරවාරි 12 වැනි දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයකු බවට පත්විය.

ජාත්‍යන්තර සූර්ය සංධානයේ ප්‍රධාන අරමුණ වන්නේ විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් සූර්ය බලශක්තිය වඩා ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට ගැනීම සහ කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පිහිටා තිබෙන සූර්ය සම්පතින් පොහොසත් රටවල සූර්ය තාක්ෂණයේ සුවිශේෂි යෙදවුම් අවශ්‍යතාවලට පිළියම් සෙවීමයි. මෙම ව්‍යාපෘතිය හරහා, සූර්ය ශක්තිය නිෂ්පාදනය කරන පරිසර පද්ධතිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමටත් සූර්ය ශක්තියෙන් පොහොසත් බහුතරයක් රටවල් මුහුණ දෙන පොදු ගැටලු වන සියලු දෙනාටම බලශක්තිය ලබාගැනීම, බලශක්ති සාධාරණත්වය සහ දරාගැනීමට හැකි බලශක්ති වියදම යන කරුණු ගැන වගබලා ගැනීමටත් ජාත්‍යන්තර සූර්ය සංධානය තවදුරටත් අපේක්ෂා කරයි.

ජනතාවගේ මූලික බලශක්ති අවශ්‍යතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරා ගැනීමට හැකි පසුබිමක් රට තුළ සකස් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සූර්ය සංධානය හා එක්විය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මාර්තු 09 වැනිදා

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close