විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා, මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක් පමණ වන මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මඟහරිමින් සිටියි. උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ ශ්‍රී ලංකා ශාඛාව ලබාගත් නිල් නිවේදනයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා බලධාරීන් රටවල් ගණනාවක් සමඟ එක්ව අන්‍යොන්‍ය නීති සහය ඇතිව ඔහු ආගිය ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරමින් සිටියි. 2018 පෙබරවාරි 04 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නවත්වා ගනු ලැබිණි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද නිල් නිවේදනය පදනම් කරගෙනය. මෙම නිවේදනයේ අරමුණ වූයේ ‘අපරාධ පරීක්ෂණයකට අදාළව අවශ්‍ය වන්නාවූ පුද්ගලයෙකු’ ලෙස උදයංග වීරතුංග මහතා සිටින ස්ථානය සොයා ගැනීම සහ හඳුනාගැනීමයි. කෙසේවුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිය සහ ජාත්‍යන්තර පොලීසියේ නිල් නිවේදනයට අදාල නීතිරීති මගින් වීරතුංග මහතා තවදුරටත් රඳවා තබා ගැනීම වැළැක්වුණු අතර පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් ඔහු මුදා හරිනු ලැබ තිබිණි. ඔහු වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියි. එරට පොලීසිය විසින් මීට අදාළව විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර, එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් උදයංග වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමියෙන් පිටවී යාම වලක්වා තිබේ. මේ අතර, වීරතුංග මහතාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පවතින පැමිණිලි හා චෝදනා විමර්ශනය කරන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අබුඩාබියේ ජාත්‍යන්තර පොලිසිය සමඟ මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරයි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇත. තවද, ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත, දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාල බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය

2018 පෙබරවාරි 09 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close