යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය පළමු වසර සමරයි

යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය පළමු වසර සමරයි

 

ConsJaffna

විදේශ කටයුතු අමාත්‍යාංශයේ යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 2018 ජනවාරි 26 වැනිදා සිය පළමු සංවත්සරය සැමරීය.

මහජනතාවට, විශේෂයෙන්ම උතුරු පළාතේ වාසය කරන මහජනතාවට, කොන්සියුලර් සේවාවන් ලබාදීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් යුතුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි 26 වැනි දින යාපනයේදී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරන ලදී. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පිහිටා ඇත.

මීට පෙර කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් පමණක් ලබාගත හැකිව තිබූ කොන්සියුලර් සේවාවන් රැසක් මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් මහජනතාවට සැපයෙයි. උප්පැන්න, විවාහ හා මරණ සහතික සහ විදේශවලදී භාවිතා කෙරෙන අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම; විදේශ රටවල අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහයවීම; සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් ඉදිරිපත් කරන ලද වන්දි ඉල්ලීම්වලට පහසුකම් සැපයීම; සහ විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ පෙරළා සියරට රැගෙන ඒම වැනි සේවා රැසක් ඊට අයත් වේ.

මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමට පෙර, 2016 අගෝස්තු මස 28 සිට 31 වැනි දින දක්වා ජංගම කොන්සියුලර් සේවාවක් යාපනයේ නල්ලූර්හිදී පැවැත් වූ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහභාගීත්වය ඇතිව කොන්සියුලර් අංශයේ කාර්ය මණ්ඩලය විසින් එහිදී සේවා සපයනු ලැබිණි.

යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මේ වන විට ලියකියවිලි 10,364 කට අධික ප්‍රමාණයක් සත්‍යාපනය කර ඇති අතර පුද්ගලයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් කොළඹට නොපැමිණ එම කාර්යාලයෙන් සේවා ලබාගෙන ඇත. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය  ලියකියවිලි සත්‍යාපනය කිරීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය (e-DAS) හරහා කොළඹ පිහිටි ප්‍රධාන කොන්සියුලර් අංශය සමග සම්බන්ධ වී තිබෙන අතර ඒ වෙත භාර දෙන ලියකියවිලි සහ අයැදුම්පත් සම්බන්ධයෙන් ඊට තථ්‍ය කාලීනව කටයුතු කළ හැකිය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 ජනවාරි 30 වැනිදා


ConsJaffna3

ConsJaffna2

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close