ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

ශ්‍රී ලංකා-ඉන්දුනීසියා ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

12

ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති අතිගරු ජෝකෝ විඩෝඩෝ මැතිතුමාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති අතිගරු ජෝකෝ විඩෝඩෝ මැතිතුමා 2018 ජනවාරි මස 24 – 25 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති විඩෝඩෝ මැතිතුමා, ජනාධිපති සිරිසේන මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. වසර 65 කට පෙර දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්‍ත්‍රික සබඳතා ආරම්භ කිරීම සිහිපත් කළ නායක දෙපළ, දෙරට අතර පවතින්නාවූ කැපීපෙනෙන ශක්තිමත් මිත්‍රත්වයේ බැඳීම පිළිබඳව සෑහීමට පත්වන බව ප්‍රකාශ කරමින් එම සබඳතා තවදුරටත් තහවුරු කිරීමට හා පුළුල් කිරීමට එකඟ වූහ.

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මෑතකාලීනව සිදුවූ ඉහළ මට්ටමේ සංචාර පිළිබව ප්‍රසාදය පළ කළ නායක දෙපළ එම සංචාර මගින් ජනනය කරන ලද ගම්‍යතාව තවදුරටත් වර්ධනය කරගැනීමට අදිටන් කරගත්හ.

අනතුරට පත්වූවන් සෙවීම හා බේරාගැනීම, උසස් අධ්‍යාපනය, පර්යේෂණ හා තාක්ෂණය; සහ මත්ද්‍රව්‍ය, මානසික තත්ත්වය වෙනස් කරන ද්‍රව්‍ය හා ඒවායේ රසායනික මූලද්‍රව්‍ය ජාවාරමට එරෙහි සහයෝගිතාව යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 03 කට අත්සන් තැබීමද නායක දෙපළගේ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර පවතින ශක්තිමත් සාමුද්‍රික සබඳතා කෙරෙහි සැලකිල්ල යොමුකරමින්, වෙළෙඳාම සහ ආයෝජනයට අදාළ අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ නායක දෙපළ, දෙරට අතර ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම උදෙසා කැපවෙන බව අවධාරණය කළහ. ද්විපාර්ශ්වික ආර්ථික ක්ෂේත්‍රයේ මෙතෙක් භාවිතයට නොගත් හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව හඳුනාගත් ඔවුහු වෙළෙඳාම සහ ආයෝජන පිළිබඳ ඒකාබද්ධ කොමිසම ඉක්මනින් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

විස්තීර්ණ ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීමෙහිලා ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට දෙරටේ නායකයෝ එකඟ වූහ.

ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේදී උදාකරගෙන ඇති ප්‍රගතිය හා අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් නායක දෙපළ අන්‍යොන්‍ය ප්‍රතිලාභ උදෙසා සහයෝගිතාව ශක්තිමත් කිරීමට එකඟ වූහ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය, විශේෂයෙන්ම යටිතල පහසුකම් හා සබඳතා දියුණු කිරීමෙහිලා දායකත්වය සැපයීමටඉන්දුනීසියාව කැපවී සිටින බව ජනාධිපති විඩෝඩෝ මැතිතුමා ප්‍රකාශ කළේය.

දෙරට අතර පවතින වැඩිදියුණු වූ සම්බන්ධතාව අගය කරමින්, ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතා පිණිස වූ ඒකාබද්ධ කොමිසමේ තුන්වැනි සැසිවාරය දෙරටටම පහසු නුදුරු දිනයක කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට දෙරටේ විදේශ අමාත්‍යාංශවලට නායක දෙපළ විසින් මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.

ඔවුනොවුන්ගේ රටවලට සංචාරකයින් පැමිණීම වැඩිවී ඇති බව පිළිගනිමින්ද, ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර පවතින ඓතිහාසික හා ශිෂ්ටාචාරමය සබඳතා හඳුනාගනිමින්ද, සංචාරක  හා ගුවන්ගමන් ක්ෂේත්‍රවල  සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව ජනාධිපතිවරු දෙපළ සාකච්ඡා කළහ.

මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්මය, ජලජීවී වගාව, ධීවර, ආපදා කළමනාකරණය හා වෘත්තීය පුහුණුව යන අංශවල ශක්නුතා වර්ධනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට දෙරටේ නායකයෝ එකඟ වූහ.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාවේ ඇති වැදගත්කම හඳුනාගනිමින්, හමුදා නිලධාරීන් පුහුණු කිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම හා බුද්ධි තොරතුරු බෙදාහදාගැනීම පිළිබඳව දෙරටේ නායකයෝ අදහස් හුවමාරු කර ගත්හ. සමුද්‍රීය ආරක්ෂක ආයතන හා ජාතික මත්ද්‍රව්‍ය විරෝධී තියෝජිතායතන අතරත් ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේදීත් සමීප ද්විපාර්ශ්වික අන්තර් ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී ඔවුහු අවධාරණය කළහ.

කලාපීය සහයෝගිතාවේ සහ ආසියාව සමෝධානගතවීමේ ඇති වැදගත්කම නායකයන් දෙපළ විසින් හඳුනාගන්නා ලදී. මෙම සන්දර්භය තුළ, ආසියාන් සංවිධානය හා ආසියාන් කලාපීය සංසදය සමග සිය සබඳතා වර්ධනය කරගන්නා ලෙසට ජනාධිපති විඩෝඩෝ මැතිතුමා  ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාද මුණ ගැසී ආයෝජනය, වෙළෙඳාම, ආර්ථික සහයෝගිතාව හා විද්‍යා හා තාක්ෂණ යන අංශද ඇතුළත් කරුණු පරාසයක් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේය.

දෙරටේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් හා ව්‍යාපාරිකයන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් පැවති,  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සම-සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව සැලකිල්ල යොමු කළ නායක දෙපළ දෙරටේ වාණිජ මණ්ඩල අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ.

ජනාධිපති විඩෝඩෝ මැතිතුමා සමඟ පැමිණි ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේසාමාජිකයන්ගෙන් සමන්විත ඉන්දුනීසියානු ව්‍යාපාරික නියෝජිත පිරිස, අගමැති වික්‍රමසිංහ මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන කටයුතු වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

සිය සංචාරය අතරතුරදී තමා සහ තම නියෝජිත පිරිස වෙත දක්වන ලද උණුසුම් හා ත්‍යාගශීලි ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපති සිරිසේන මැතිතුමාටත්, ශ්‍රී ලංකා රජයට සහ ජනතාවටත් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මැතිතුමා සිය ස්තූතිය පළ කළේය.

2018 ජනවාරි 25 වැනිදා

කොළඹ

Print Friendly, PDF & Email
Please follow and like us:

Close